දොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය හෙවත් ජිනලබ්ධි විශෝධක පාඨශාලාව අමරපුර ශ්‍රී කලයාණිවංශ මහා නිකායේ එවක මහානායක ධුරිනව වැඩ සිටි අතිපූජ්‍ය දොඩන්දූවේ පියරතන තිස්ස මහානායක හිමියන් විසින් මිෂනාරී අධයාපන ක්‍රමයට එරෙහිව සිංහල බෞද්ධ දරුවන් උදෙසා ආරම්භ කළ බෞද්ධ පාඨශාලාවකි.එය ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසල ලෙස සැලකෙන අතර මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ට අනුව එය ලෝකයේ ප්‍රථම බෞද්ධ පාසල ද වේ.
නිල ලාංඡනය | |
ශ්‍රී ලංකාව තුළ පිහිටීම | |
| පිහිටීම | ගාල්ල දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව |
|---|---|
| කලාපය | දකුණු පළාත |
| ඛණ්ඩාංක | 6°06′01.1″N 80°07′50.3″E / 6.100306°N 80.130639°E |
| මාදිලිය | ජාතික උරුම අඩවිය සහ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය |
| ඉතිහාසය | |
| ගොඩනැගූ තැනැත්තා | දොඩන්දූවේ ශ්‍රී පියරතන තිස්ස මහානායක හිමි |
| ස්ථාපිත දිනය | 1869(නිල වශයෙන්) |
| යුග | 19 වන සියවස |
| සංස්කෘතීන් | සිංහල-බෞද්ධ |
| අඩවි සටහන් | |
| තත්ත්වය | සංරක්ෂිත පුරාවිද්‍යා ස්ථානය(පැරණි ගොඩනැගිලි) |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා රජය |
| කළමනාකරණය | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අධයාපන අමාත්‍යාංශය |
| මහජන ප්‍රවේශය | ගවේෂණ සඳහා අවසර රහිතව ඇතුල්වීම තහනම් |
| Official name | දොඩන්දූව පියරතන විද්‍යාලයීය පැරණි පාඨශාලා ගොඩනැගිල්ල |
| Designated | 2006-08-18 |
මෙම විද්‍යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඩන්දූව,දෙගල්ල නම් ප්‍රදේශයේ ගාලුපාර අසළ 64 සහ 65 වන සැතපුම් කණු අතර තිබෙන අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවයේ මූලස්ථානය වන දොඩන්දූව ශ්‍රී ශෛලබිම්බාරාම මූල මහා විහාරය අසල පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ බෞද්ධ අධයාපනයේ තිඹිරිගෙය බඳු වන මෙය 2004 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙනුත්,2006 අගෝස්තු 18 වන දින පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙනුත් රජයේ ගැසට් අංක 1459 යටතේ ප්‍රකාශයට පත් කර තිබේ.
පාසල පිළිබඳව හා බෞද්ධ අධයාපනයේ ආරම්භය පිළිබඳව වැදගත් සටහන් කිහිපයක් "රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ගමන්මග(Journal of the Royal Asiatic Society Sri Lanka Branch)" නම් සංරක්ෂිත ලේඛනය තුල ද දැක්වේ.
බෞද්ධ අධයාපනයේ ආරම්භය සහ ලෝකාර්ථ සාධක සමාගම
ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිදුවූ මහින්දාගමනය සමඟ මහාවිහාරය ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් අභයගිරි,ජේතවනාරාම යන බෞද්ධ අධ්‍යාපන මූලස්ථාන ආරම්භ වී ඒවා මූලික කොට බෞද්ධ භික්ෂූන් ආධ්‍යාත්මික වශයෙන් ධර්මය ඉගෙනගනිමින් සහ ප්‍රායෝගිකව භාවිතා කරමින් අධ්‍යයන කටයුතු වල නිරත විය,එසේම පිරිවෙන් ද ඒ සමයේ ම ආරම්භ විය.පිරිවෙන් අධ්‍යයාපනය ගත්විට අනුරාධපුර සිට මහනුවර දකවා ලක්දිව තත්කාලීන සමාජයේ ගිහි පැවදි දෙපක්ෂයට එකම අධයාපන ආයතනය විය.මේ කාල සීමාව පුරාවටම ගිහි,පැවිදි උභය පාර්ශවයේ ම පැවති ප්‍රබෝධය එකල රචනා වූ ග්‍රන්ථ වලන් ම පැහැදිලි වේ.
1812 වර්ෂයේ සිට මිෂනාරී සමාගම් විසින් ලංකාවේ මුහුදු බඩ පළාත් වල ක්‍රිස්තියානි පාසල් ඇරඹීමත් ඒවාට බ්‍රිතාන්‍ය රජයේ සෘජු අනුග්‍රහය ලැබීමත් හේතු කොටගෙන විහාරස්ථාන මුල්කොට එතෙක් පැවති පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් දුර්වල වූ අතර එසේම ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ගමක් ගමක් ගානේ ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරමින් බුදු දහම විවේචනය කරමින් ක්‍රිස්තියානි ආගම වෙත හැරවීමට මිනිසුන් පෙළඹවූහ.ඒ පිළිබඳව එකළ සිටි මහා සංඝරත්නයේ ඇස් විවර වූ අතර වසර දෙදහස් ගණනක් අවිච්චින්නව පවත්වාගෙන ආ නිර්මල ථේරවාද බුදුදහමට ඉන් වන හානිය උන්වහන්සේලා දුටුවහ.
වර්ෂ 1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන බිහිවීමෙන් පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද පිහිටුවන ලදී.මේ අභාෂයෙන් පණ කැවී දොඩන්දූව ශෛලබිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ පිරිවෙනක් අතිපූජ්‍ය උඩුගල්පිටියේ සිරි සුමනතිස්ස නායක හිමි මූලික කොට ආරම්භ වූ අතර මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ධූරය දරන ලද්දේ දොඩන්දූවේ පියරතන තිස්ස ස්වාමීන් වහන්සේ ය.
මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ ප්‍රජාවෙන් ලැබුණු සහයොගයත් හේතු කොට ගෙන බෞද්ධ දරුවන් විෂයෙහි පාඨශාලාවක් පිහිටුවීම පිළිබඳව බලාපොරොත්තුවක් පියරතන තිස්ස හිමියන් සිත තුල දැල්වෙන්නට ඇත,මන්ද යත් ඒ වනවිට දොඩන්දූවේ මිෂනාරී ඉංග්‍රීසි පාසල් කිහිපයක්ම ආරම්භ කර තිබූ බැවිනි.වර්ෂ 1868 දී මොර්ගන් වාර්තාව අනුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් "ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව" පිහිටුවීම නිසා රජයේ ආධාර ලැබිය හැකි පාසල් විවෘත කිරීමට හැකියාව ඇති අයට ඉඩ හසර විවර කර තිබුණි.
මේ අවදියේ දී දෙඩන්දූව ප්‍රදේශයට ආසන්නව පිහිටි කුමාරකන්ද පුරාණ විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට "දාවිත්" නම් තරුණයෙක් එහිම පැවැදි වී මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි මිෂනාරි වැඩ කටයුතු වලට එරෙහිව වාද විවාද කිරීමට යොමු වූයේ ද පියරතන තිස්ස මහානායක හිමියන්ගේ ආභාෂයන් ද ලබමිණි.1865 දී ක්‍රිස්තියානීන් සමග පැවැත්වූ පංච මහා වාද වලින් පසුව භික්ෂූන් වහන්සේලා හා සිංහල බෞද්ධයන් අතර තවදූරටත් විශාල පිබිදීමක් ඇති විය.
මේ සමයේම එවක ශෛලබිම්බාරාම විහාරාධිපති පියරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ ලෝකාර්ථ සාධක සමිතිය නම් සංවිධානයක් පිහිටුවා අරමුදල් රැස් කර 1869 දී ජිනලබ්ධි විශෝදක නමින් ප්‍රථම බෞද්ධ පාඨශාලාව දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භ කරන ලදී. ඉන්පසු එම වසරේ ම 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක් ආරම්භ කල නමුදු ඉංග්‍රීසි ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.මින් පසු නොබැස උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් එවක ආණ්ඩුකාර ධුරය හෙබවූ රොබින්සන් ආණ්ඩුකාරගේ ගාලු සංචාරය අතරතුර ඔහු දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා අනුග්‍රහය ලැබ ගෙන වර්ෂ 1874 දී ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ දී,කතළුවේ දී හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය.
පාසල ආරම්භ කිරීම පිළිබඳව තොරතුරු Journey of the Royal Asiatic Society Sri Lanka Branch නම් ලේඛනය තුළ මෙසේ දැක්වේ.
මෙසේ ක්‍රමයෙන් ඔව්හු දොඩන්දූවට ද පැමිණ මිථ්‍යා පාඨශාලා නැමැති පාශ දෙකක්ම තබා බෞද්ධ දරුවන් රවටා තම ලබ්ධිය ගන්වන්නට නැතක් පරිශ්‍රම දැරුවෝය.මේ දුටු ශෛලබිම්බාරාමාධිපති අමරපුර ගණප්‍රධාන පියරතන තිස්සාභිධාන නායකස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ බලවත් සංවේගයට පැමිණ උන් මාර්ගයේදී වන බෞද්ධ දරුවන් කෙරේ දයාවෙන් මෙහෙයනු ලැබ සම්බුද්ධශාසනයාගේ චිරස්ථිතියත්,මිථ්‍යාලබ්ධිකයන්ගේ මානභංගයත්,කාලෝචිත ක්‍රියාවන්හි යෙදීම යෙදවීමත්,සත්පුරුෂ උත්තමයන්ට අයත් විශිෂ්ඨ ගුණධර්මයන් බැව් මෙනෙහි කොට ඒ ප්‍රතිබාහනයට අදහස් කොට යථෝක්ත ලෝකාර්ථසාධක සමිතිය පිහිටුවා මිථ්‍යාලබ්ධිකයන් විසින් කරණ වංචාවත් ඊට රැවටීමෙන් වන මහත් හානියත් ඒ හානිය දැක උදාසීනව තුනුරුවන් සරණ ගිරවුන්ගෙන්ද උපාසක ධර්මයට ආයෝග්‍ය බවත් හඟවා රුපියල් 850ක පමණ වියදමින් ස්කෝල ගෙයක් ගොඩ නඟවා බුද්ධධර්මය හා ගණිතමිතිතාදිය සහිත තරමක දුර ඉංග්‍රීසි ද දත් ප්‍රධාන ගුරුවරයෙක්ද උප ගුරුවරයන් දෙදෙනෙක් ද මසකට රුපියල් 35 බැගින් ගෙවීමට ගිවිසගෙන පත් කරවා ජිනලබ්ධිවිශොධක නමින් පාඨශාලාව විවෘතකොට ශ්‍රී බුද්ධ වර්ෂ 2412 ට පැමිණි ක්‍රිස්තු වර්ෂයෙන් 1869 වැන්නෙහි ඉගැන්වීම පටන්ගණු ලැබීය. සාධු! සාධු!!
ප්‍රථම බෞද්ධ පාසල ආරම්භ කළ පියරතන හිමියන් විසින්ම 1879 දී ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව කොස්ගොඩ නුගටිය නම් පෙදෙසේ ආරම්භ කළ අතර මේ සඳහා බලපිටිය වැලිතර මහකප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා අනුග්‍රහය දක්වා ඇත.වර්තමානයේ මෙම පාසල හඳුන්වනු ලබන්නේ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය වශයෙනි.
ඊට අමතරව 1869 දී ඇරඹි ජිනලබ්ධි විශෝධක පාඨශාලාව ස්වභාෂා බාලක පාසලක් වූ බැවින් ගැහැණු දරුවන්ට ද බෞද්ධ අධ්‍යාපනය ලැබීම උදෙසා දොඩන්දූවට ආසන්නව පිහිටි කුමාරකන්ද මෝදර පටුවත ආශ්‍රිතව දොඩන්දූව යශෝධරා බාලිකා පාසල නමින් පාසලක් ආරම්භ කළහ.එය ලංකාවේ ප්‍රථම බෞද්ධ බාලිකා පාසල විය. මේවාට අමතරව පියරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් වැලිගම බෞද්ධ පාසල(වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය), අම්බලන්ගොඩ පටබැඳිමුල්ල බෞද්ධ පාඨශාලාව(දේවානන්ද විද්‍යාලය) ද ඇතුලු බෞද්ධ පාඨශාලා කිහිපයක්ම ආරම්භ කර තිබේ.ඒ අනුව පියරතන හිමියන් බෞද්ධ පාසල් ආරම්භ කළේ ඕල්කට්තුමා පැමිණීමට වසර 11 කටත් පමණ පෙර ය.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුර ද පියරතන හිමි ඇරඹූ බෞද්ධ පාසැල් වයාපාරය දිගටම පවත්වාගෙන ගියහ.ඒ අනුව උන්වහන්සේගේ ශිෂ්‍ය දොඩන්දූවේ සිරි ධම්මිස්සර මහා නාහමියන් මෙම විද්‍යාලය දොඩන්දූවේ පියරතන ඉංග්‍රීසී බෞද්ධ විද්‍යාලය ලෙස නව නාමයකින් ආරම්භ කළ අතර දොඩන්දූව කුමාරකන්ද පුරාණ විහාරයේ විහාරාධිපති හිමිවරුන් හෙන්නතොට විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසැල,තිරාණගම විද්‍යාතිලක බෞද්ධ මිශ්‍ර පාසැල,කුමාරකන්ද කුමර විද්‍යාලය,කුමාරකන්දේ සංඝමිත්තා බාලිකා පාසැල,පටුවත ශ්‍රී සීලක්ඛන්ද විද්‍යාලය ආදී පාසල් කිහිපයක්ම ආරම්භ කරමින් බෞද්ධ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කළහ.
පාසලේ ඉතිහාසය
වර්ෂ 1869 දී අරඹන ලද පාසල,පියරතන හිමයන්ගේ දැඩි කැපවීම මත 1874 දී රජයේ රජයේ ලියාපදිංචි පාසලක් බවට පත්විය.ආරම්භයේ දී ස්වභාෂා බාලක පාසලක් වූ මෙම විද්‍යාලය 19 වන සියවසේ අග භාගයේ දී පරමවිඥානාර්ථ සමාගම වෙත පවරන තෙක්ම පියරතන හිමියන්ට ආවේණික වූ බෞද්ධ අධයාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය.පසුව පරමවිඥානාර්ථ සමාගම ආරම්භ කල අනෙකුත් පාසල්වල මෙන් නමට පමණක් බෞද්ධ යන නාමය සහිතව බෞද්ධ අධයාපනයෙන් බැහැරව විභාග මූලික කොටගත් අධ්‍යයාපනයක් මෙහි ද ක්‍රියාත්මක වූ බව පැවසේ.ඒ අනුව පාසල තුළ ගණිතය,විද්‍යාව ආදී බටහිරාභාෂ සහිත විෂයන් ඉගැන්වීම ආරම්භ කෙරුණි.පියරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසු දොඩන්දූවේ ධම්මසාර හිමියන් මෙහි විද්‍යාලාධිපති බවට පත් වෙන අතර උන්වහන්සේ විසින් "ජිනලබ්ධි විශෝධක පාඨශාලාව" යන නාමය වෙනුවට වර්තමානයේ භාවිතා වන පියරතන විද්‍යාලය යන නමින් විද්‍යාලය ඉංග්‍රීසී බෞද්ධ පාසලක් බවට පත් කළේ ය.
එතැන් සිට "දොඩන්දූවේ ශ්‍රී පියරතන ඉංග්‍රීසී පාසල" නමින් ප්‍රකට වූ මෙම විද්‍යාලය 20 සියවසේ මුල් හා මැද භාගයේ දිවයිනේ කැපී පෙනෙන පාසලක් වූ බව පැවසේ.එවක පැවති ගාල්ලේ ප්‍රසිද්ධ මෙතෝදිස්ත පාසල් වන රිච්මන්ඩ් විද්‍යාලය,ඇල්විශියස් විද්‍යාලය මෙන් මෙම විද්‍යාලය ද තරගකාරීව පැවති බව දැක්වේ.දෙමාපියන් තම දරුවන් ඉහත රජයේ ඉංග්‍රීසී උසස් පාසල් 2 වෙත ඇතුළත් කරගත නොහැකි වූ විට සෘජුවම පියරතන විද්‍යාලය වෙත ඇතුළත් කිරීමට උත්සුක වූ බව එකල වාර්තා වේ.පාසල තුල ක්‍රියාත්මක වූ ඉංග්‍රීසී අධ්‍යයාපනය කොතෙකුත් ද කිවහොත් පාසල් කාලය තුල ඉංග්‍රීසී භාෂාව භාවිතා නොකර වෙනත් භාෂාවකින් කතාකිරීම සිදු වුවහොත් අදාළ දරුවන්ගේ දෙමව්පියන්ට සත 40 අමතර දඩයක් පාසල වෙත ගෙවීමට සිදු වූ බවද දැක්වේ.පියරතන විද්‍යාලයෙන් ලැබූ ඉංග්‍රීසි අධ්‍යයාපනය එකල පැවති රජයේ උසස් රැකියා සදහා ඇතුල්වීම උදෙසා බෞද්ධ දරුවකුට ඉහළින් ම ප්‍රමාණවත් විය.
1880 අගභාගයේ පාසල අභාවයට යෑමක් සම්බන්ධව හා ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් කිරීම පිළිබඳව සරසවි සඳරැස බෞද්ධ පුවත්පත තුළ පළවූ ආකාරය ද දැකිය හැකි අතර ඉන් ගම්‍ය වන්නේ 1874 පාසල රජය වෙත පවරාගත් නමුත්,පාසල බෞද්ධ වීම නිසාදෝ රජය වෙතින් පාසල වෙත ආපේක්ෂා කල තරම් ආධාර උපකාර නොලැබුණු බවයි.
තවද මෙම ලක්දිව පිහිටි බුද්ධාගමේ ඉස්කෝලවලින් පළමුවෙන් ආණ්ඩුවේ උදව්පඩි ලැබූ ඉස්කෝලය.මෙම ඉස්කෝලය බව නොමසුරුවම කියයුත්ය.ඒ කාලය තුල මෙකී ඉස්කෝලේ ඉගණගත් තරුණයින්ට 'ඤෙය්‍යත්ථදීපනී' නැමැති ප්‍රකරණයෙන් අප බුදුරජාණන් වහන්සේගේ ජීවිත කථාව ඉතා මනහර ලෙස ඉගැන්වීමෙන් භාවිතා කරගෙන ආබව එම ඉස්කෝලය පවතින කාලේදී පොහොදිනවල එම විහාරස්ථානයට පැමිණ දෙන පාඩමේදී බොහෝ සමූහයා අහබලා සිටීමෙන් ඉතාමත් විස්මයට පත් වී සතුටු වූවෝය.ඒ කාලය තුල මෙම ඉස්කෝලේ ඉගෙනගත් ළමයි ගණනක්ම ගාල්ලේ කොටුව තුල මහ ඉස්කෝලේ තුන්වෙනි පංතියට ද ඇතුල් වූවෝය.මෙසේ යහපත්ව කාලයක් පැවත ආ මෙම ඉස්කෝලය නටබුන්වේගණ යන බව දුටු අපි බොහෝ කනගාටුවෙන් පසුවන අතර යථෝක්ත මහතුන්ගේ ආධාරය මුල්ව ඉගැන්වීමෙහි දක්ෂවූ ගුරුවර කෙනෙක් මේවර පත්කරගත් බැවින්ද දැනටම ළමයි 80 ක් පමණ දවස් පතා පැමිණෙන බැවින්ද මලානිකව හැකිලී තිබුනු අපේ සිත් නැමැති පද්ම සමූහය මීට ගුරූපදේස දෙන සාමින් වහන්සේ සහිත ආධාර දෙන මහතුන් ගේද ඤාණාලෝකයෙන් මෙවර ප්‍රබෝධ වේයැයි ප්‍රීතියෙමු.මෙවැනි ලෝකාර්ථසාධක වැඩවල යෙදෙන උතුමෝ චිරකාලයක් ආයුරාරොග්‍යාදි සැපතට පැමිනෙත්වා.මෙම පාඨශාලාව පළමුවෙන් අවුරුදු ගණනක්ම හොද අන්දමින් පැවති බව සහ දෙවනු කාලයක් අඳුරේ තිබී ගිය බව ද බොහෝ සමූහයා දන්නා නිසා ඔබ අනගි පත් මගින් ඒ අඳුර දුරලූ බව ලක් වැසියන්ට දැනගැනීම පිණිස මෙම ලියුම ලබන සුමානය තුල නොපමාවම පසිඳු කරවන මෙන් ඉල්ලා සිටින්නේ,මෙම පාඨශාලාවේ තත්වය දන්නා මමය.
'සරසවි සඳරැස' බෞද්ධ පුවත්පත,1888 මාර්තු මස 17 වෙනි සිකුරාදා කොළඹදීය.2 වෙනි කාණ්ඩය-16 වෙනි පත්‍රය
පාසලේ උච්චතම අවධිය තුළ පාසල තුළ සිසු සංඛයාව 1000 ඉක්මවූ අතර එය එකල පාසලක් සතු උපරිම ධාරිතාව ද ඉක්මවා යෑමකි.තවද,ඉන්දියානු උපාධිධාරී ගුරුවරුන් ද මෙහි පැමිණ ඉගැන්වීම් සිදු කළ බවට වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ පැරණිම ශිෂ්‍ය බාලදක්ෂ සංගම් වලින් එකක් මෙම විද්‍යාලය සතු වූ බව පැවසේ.ඊට අමතරව දකුණු පළාතේ හොදම විද්‍යාගාරය හා පුස්තකාලය ද එකල පියරතන විද්‍යාලය සතු වූ බවත් එය මෙතෝදිස්ත පාසල් සතු විද්‍යාගාරද අභිබවා තිබුණු බව ද පරමවිඥානාර්ථ සමාගම සහ ප්‍රදේශයේ දානපතීන් නිරන්තරයෙන් පාසල වෙත ආධාර උපකාර කළ බව ද පැවසේ.ඕල්කට්තුමා ද මෙම පාසලට මූල්‍යමය වශයෙන් සහ රසායනාගාර උපකරණ ඇතුළු භෞතික සම්පත් වශයෙන් ද බොහෝ ආකාරවලින් දායක විය.මේ අතරට 1880 දී චිත්‍රපට රෝල් සහිත 8-mm ප්‍රක්ෂේපකයක්(projector) එතුමා පාසලට ලබා දුන් අතර එය ශ්‍රී ලංකාවට ගෙන එන ලද පළමු ප්‍රක්ෂේපකය ලෙස සැලකේ.ඒ වනවිට ලංකාවේ කිසිදු පාසලක අධ්‍යයාපන කටයුතු සදහා තබා කිසිදු රාජ්‍ය ආයතනයක් තුලවත් ප්‍රක්ෂේපණ තාක්ෂණය භාවිතා නොවීය.නමුත් මීට දශක තුනකට පමණ පෙර මේවායේ වටිනාකම නොදන්නා අදාළ බලධාරීන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ අවසරය සහ අනුමැතිය ඇතිවම පවත්වන ලද වෙන්දේසියකදී, පියරතන විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුම වූ එස්.ආර්. චන්ද්‍රසේන පාසලේ කාමරයක දමා තිබූ භාවිතයට ගත නොහැකි භාණ්ඩ කිහිපයක් විකුණා දමා තිබුණි.ඒ අතර වටිනා කොඩැක් චිත්‍රපට 8 මි.මී. රීල් කිහිපයක් සහිත පළමු ප්‍රොජෙක්ටරය ද විය,එය අසල ආහාර සපයන්නෙකුට ඒ අවස්ථාවේ විකුණා දමා තිබුනේ එහි පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම නොසලකා ය.
තවද,හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් විදයාලය වෙත පරිත්‍යාග කරන ලද දුරකථයනයක් 1990 දී පමණ අස්ථානගතව තිබෙන අතර එය ලංකාවේ එතෙක් පැවති පැරණිම දුරකථන වලින් එකක් ලෙස ද සැලකේ.
ධම්මසාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේට ද කරන ගෞරවයක් ලෙස පාසල "ශ්‍රී ධම්මසාර පියරතන විද්‍යාලය" යන නව නාමය යටතේ ක්‍රියාත්මක විය.බණ්ඩාරනායක ආණ්ඩු සමයේ ඉංග්‍රීසී භාෂාව රහිතව තම මව් භාෂාවෙන් දරුවන් අධ්‍යයාපනය ලැබිය යුතු බවට ගත් ප්‍රතිපත්තිය නිසා පාසල තුළ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි අධ්‍යයාපනය ද අවසන් වූ අතර 20 සියවසේ අගභාගයේ වනවිට ගාල්ල හා අම්බලන්ගොඩ නගර ආශ්‍රිතව ප්‍රසිද්ධ පාසල් ආරම්භ වීම හා ඒ පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීමට දෙමාපියන් සතුවූ උනන්දුව වැඩිවීම වැනි හේතු මත පියරතන විද්‍යාලය වෙත ඇතුළත් කරනු ලබන සිසු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත වැටුණි.21 වන සියවසේ මුල් භාගය වනවිට පාසලේ සමස්ත සිසු සංඛයාව 120 ට අඩු වූ අතර ඒ සමයේ පාසල තුල ක්‍රියාත්මක වූ උසස් පෙළ පන්ති අකර්මණ්‍ය වී පාසල සාමාන්‍ය පෙළ දක්වා පමණක් ක්‍රියාත්මක මහා විද්‍යාලයක් බවට පත් විණ.තවදුරටත් පාසලේ සිසු ප්‍රමාණය අඩු වූ නිසා 20 වන සියවසේ අග දශකයේ මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක කළ මුත් එයින් ද ප්‍රතිලාභයක් නොවීය.පසුව පාසල ප්‍රාථමික විද්‍යාලයක් දක්වා පහත වැටුණු අතර වැසීමට ආසන්න තත්ත්වයට පත්විය.2015 පත් වුණ යහපාලන ආණ්ඩුව සමයේ පාසල නැවත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් මගින් සෞභාග්‍යා පාසලක් බවට පත් කළ අතර එහි නිල නාමය ද "ශ්‍රී ධම්මසාර පියරතන සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලය" ලෙස ද වෙනස් කරනු ලැබීය.වර්මානය වන විට විදයාලයේ පැරණි ගොඩනැගිලි අභාවයට යමින්,පුරාවිද්‍යා වටිනාකමින් යුතු දේපළ ද දිනෙන් දින විනාශ වී යන බවක් පෙනේ.පාසල ද ක්‍රියාත්මක වන්නේ ළමුන් හා ගුරුවරුන් සීමිත ගණනක් සිටින වැසී යාමට ආසන්න පාසලක් ලෙස වීම කණගාටුවට කරුණකි.
විෂය මාලාව හා අධයාපන ක්‍රමය
ජිනලබ්ධි විශෝධක පාඨශාලාවේ අධයාපන ක්‍රමය එකල පැවති මිෂනාරි අධ්‍යාපනය ක්‍රමය මෙන් හෝ වර්තමානයේ පවතින අධයාපන ක්‍රමය මෙන් නොවී ය.පියරතන තිස්ස මහානායක හිමියන් විසින් අරඹන ලද පාසල්වල එයටම ආවේණික වූ විෂය මාලාවක් සහ අධයාපන ක්‍රමයක් විය.එය සහමුලින්ම බෞද්ධ අධයාපන ක්‍රමයක් වූ අතර එකල සමාජ තත්ත්වය අනුව උගත්,ගුණගරුක දරුවකු බිහිකිරීම මූලික කොට ගෙනම සකස් වූවක් බව පෙනේ.එසේම එදා තිබූ මිෂනාරී පාසල්වල තරගකාරී හා බටහිර අධයාපන ක්‍රමය මෙන් හෝ අද දක්නට ලැබෙන බෞද්ධ පාසල්වල ඇති බෞද්ධ අධයාපනය රහිත තරගකාරී බවින් යුතු අධයාපන ක්‍රමයට ද වඩාත් හාත්පසින් වෙනස් වූවක් විය.එය Journey of the Royal Asiatic Society Sri Lanka Branch හි දක්වා ඇත්තේ මෙසේය.
යථෝක්ත පාඨශාලාවේ ස්වසමයානුකූල වචනයන්ගෙන් හා අක්ෂරොච්චාරණය දැනගැනීමට පහසුලෙසද ගලපන ලද පළමුවෙනි පොතක්ද,සංකේෂ සම්බුද්ධ චරිතය සහිත ගිහිගෙයි පිළිපැදිය යුතු ධර්මප්‍රකාශිත ඤෙය්‍යත්ථදීපනී නම් ග්‍රන්ථයක්ද එසේම ප්‍රතිපත්ති ඉගණීමට ජිනධර්මවිකාශිනි නම් කුඩා පොතක්ද යන පොත් තුනක් උභයාර්ථසාධක සමාගමේ නිලධාරීන් වන දොඩන්දූව දොන් දිනෙස් ද සිල්වා වීරසූරිය උපාසක මහතාද එම දොන් ජුවානිස් විමලසූරිය කොන්ස්තාපල් ආරච්චි මහතාද යන ලොකාර්ථකාමී මහතුන් විසින් රුපියල් 800 ක වියදමින් මුද්‍රණය කරවා ස්වකීය පාඨශාලාවේ ඉගැන්වීම පිණිස පරිත්‍යාග කරන ලදින් ඉතිරි පොත් අවශේෂ ලෝකයාගේ අභිවෘද්ධිය පිණිස විසුරුවා හරින ලදී.
ප්‍රධාන විෂය මාලාව
- පළමුවන පාඩම් පොත
- බුද්ධ වන්දනාව
- සරණත්තය දීපනී නම් ග්‍රන්ථය
- ජින ධර්ම විකාශිනී නම් ග්‍රන්ථය
- සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථය
- අකුරු ශාස්ත්‍රය
පාඨශාලාව තුළ දරුවන්ට අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම හැරුණු විට පියරතන තිස්ස මහා නාහිමිගේ විෂය මාලාවට ගුණාත්මක බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ "පළමුවන පාඩම් පොත" වන අතර දරුවන් බුදුදහමට ලැදි කිරීම උදෙසා දෙවනුව "බුද්ධ වන්දනාවත්" එක් කර තිබුණි.දරුවන්ට සරණාගමනය හෙවත් තිසරණය සරණයෑමේ ආනිශංස කියා දීම උදෙසා තෙවනුව "සරණත්තය දීපනී" නම් ග්‍රන්ථය ඉගැන්වීම සිදු කෙරිණි.
සරණාගමණයේ සිට ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකයන් දරුවන්ට කියාදීම උදෙසා ද, සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන්,සතර අගති ආදිය ද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර කර දීම උදෙසා සිව්වනුව "ජිනධර්ම විකාශිනී" නම් ග්‍රන්ථය යොදා ගැනුණි.බුද්ධ චරිතය සවිස්තරව ද,චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද,බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද,තුන් සූත්‍රය හා එහි සරල අදහස් කියාදිම උදෙසා "සෙය්‍යාර්ථ දීපනී" ග්‍රන්ථය ද යොදා ගැනුණි.එකල සමාජ තත්ත්වය මත උගත් හා ගුණගරුක බෞද්ධ දරුවකු බිහිකිරීම උදෙසා මෙම අධ්‍යයාපනය වෙසෙසින් ඉවහල් විය.
ජාතික උරුමය හා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය
වර්ෂ 2004 දී ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.එම්.කරුණාදාස විසින් ඇපෑලක් මගින් පාසලේ ඒවන ඒවනවිට පැවති තත්ත්වය රජය වෙත දැනුම් දුන් අතර පාසල "සංස්කෘතික උරුමයක්"ලෙස නම් කිරීමේ වටිනාකම හෙතෙම විවිධ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්සේ නිරන්තර අවධානයට යොමු කලේය.ඒ අනුව මෙම පාසලේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය,වර්ෂ 2004 දෙසැම්බර් මස 12 වන දින එනම් පියරතන තිස්ස හිමියන්ගේ 178 වන ජන්ම දින සංස්වත්සරය යෙදුණු දින එවකට පැවති ජාතික උරුම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජිත හේරත් හා එම අමාත්‍යාංශය එක්ව මෙම විද්‍යාලය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නම් කරන ලද අතර වර්ෂ 2006 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පැරණි පාසල් ගොඩනැගිල්ල ඇතුලු ප්‍රදේශය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත් කළ ගැසට් අංක 1459 යටතේ ප්‍රකාශයට පත් කර සංරක්ෂණය කරනු ලැබීය.
පාසලේ සුවිශේෂත්වය
- ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසල වීම
(මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ට අනුව මෙය ලෝකයේ ද ප්‍රථම බෞද්ධ පාසල වේ)
- ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පාසල වීම.
- ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ බාලක පාසල වීම
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසත්,ජාතික උරුමයක් ලෙසත් නම් කරන ලද ප්‍රථම හා එකම පාසල වීම.
පාසලෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් හා පාසල ඇසුරු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයින්
මෙම විද්‍යාලයේ උච්චතම අවස්ථාව තුල රටට වැදගත් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් දායාද කළ අතර ඒ අතර ආචාර්යවරු,මහාචාර්යවරු,වෛද්‍යවරු,ඉංජිනේරුවරු,පමණක් නොව විදයාඥයන් පවා දායාද කර තිබේ.ඊට අමතරව ජාතික ආගමික පුනර්ජීවනයට සහය දුන් ජාතික විරුවන් බොහෝ දෙනෙක් ද මේ පාසල සමග තම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් තිබේ.
කීර්තිමත් ආදි සිසුවන්
- දොඩන්දූවේ ධර්මසේන අනු නාහිමි
- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
- පින්නදූවගේ සෑම් ඩී.සිල්වා
- මහාචාර්ය එම්.බී.ආරියපාල
- මහාචාර්ය ඩබ්ලිව්.එම්.කරුණාදාස
- මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම
පාසල සමඟ සමීප සබඳතාවක් තබාගත් පුද්ගලයින්
- දොඩන්දූවේ ශ්‍රී ධර්මසේන විද්‍යාසාගර තර්කපඤ්චානන මහ පඬි
- කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්
- අනගාරික ධර්මපාල
- මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
- හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
- පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි
අමතර ලිපි
- ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
යොමු
- https://www.divaina.lk/provincial-news/27202
- https://dodanduwaweerasooiya.blogspot.com/2010/06/dodanduwa-sri-piyaratana-tissa.html?m=1
- Sri Lanka Branch of the Royal Asiatic Society 1981.
- Karunadasa, W. M. (2004-12-05). "The saga of the first Buddhist school". DhammaWeb. 2011-01-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2025-08-19.
- Sri Lanka Branch of the Royal Asiatic Society 1981, පිටු අංකය: 24.
- Kaviratne, W. T. J. S. (13 October 2004). "The first Buddhist School in Sri Lanka - Piyarathana Vidyalaya of Dodanduwa dilapidated, threatened with closure". Daily News. සම්ප්‍රවේශය 2025-08-18.
- Karunadasa, W. M. (2004-12-05). "The saga of the first Buddhist school". Sunday Observer. සම්ප්‍රවේශය 2025-08-19.
- "BRINGING THE BUDDHA CLOSER" (PDF). d-scholarship.pitt.edu. 2001. සම්ප්‍රවේශය 2021-01-11.
- Sri Lanka Branch of the Royal Asiatic Society 1981, පිටු අංකය: 27.
- Kurugala, Priyanka (2010-06-15). "First Buddhist school on verge of collapse: Time ripe to rebuild education". Daily News. සම්ප්‍රවේශය 2025-08-19.
- "A forgotten chapter in Buddhist education". The Sunday Times Sri Lanka. සම්ප්‍රවේශය 2025-08-19.
- Ariyapala, M. B. (1980). "Cultural RenaissanceA lesserknown pioneer Ven. Piyaratana Tissa Maha Thera: PRESIDENTIAL ADDRESS". Journal of the Royal Asiatic Society Sri Lanka Branch. 25: 1–27. JSTOR 23730776.
- Ratnayake, Sunalie (2006-07-09). "The first Sinhala Buddhist school". The Sunday Leader. 2011-11-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2025-08-19.
- "Gazette of the Democratic Socialist Republic of Sri Lanka", Government of Sri Lanka No. 1459, 18 August 2006
- Kurugala, Priyanka (2012-02-02). "Over Rs. 440,000 to renovate 1 st Sinhala- Buddhist school". Daily News. සම්ප්‍රවේශය 2025-08-19.
උපුටා ගැනීම්
මූලාශ්‍ර
- Sri Lanka Branch of the Royal Asiatic Society (1981). "Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society" (PDF). History (ඉංග්‍රීසි බසින්). XXV. කොළඹ: Sri Lanka Branch of the Royal Asiatic Society. JSTOR i23727563. LCCN 76913504.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය පිළිබඳ තොරතුරු, දොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය යනු කුමක්ද? දොඩන්දූව ශ්‍රී පියරතන විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?