නිලාර් එන්. කාසිම් (දෙමළ: நிளார் என். காசிம்) ශ්‍රී ලංකාවේ ප්‍රකට ගීත රචකයෙකු, ලේඛකයෙකු, කිවියෙකු හා ජනමාධ්‍යවේදියෙකු වේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ සිංහල ගීත රචකයෙකු ලෙසයි. ගීත 700කට අධික සංඛ්‍යාවක් ලියූ ඔහු ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමයේ සභාපතිවරයාද වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගීත කර්තෘ හිමිකම් සම්බන්ධව කටයුතු කරන සාමූහික සංගමය වන Acposl හි සභාපතිවරයා වන්නේ ද ඔහුමය.නිලාර් වෘත්තියෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩ සටහන් අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.
නිලාර් එන්. කාසිම් | |
|---|---|
நிளார் என். காசிம் | |
නිලාර් එන්. කාසිම් | |
| උපත | ජුනි 3, 1970 මාතර, ශ්‍රී ලංකාව |
| වෘත්තියs | ලේඛකයා, කවියා, ජනමාධ්‍යවේදියා, ගත් කතුවරයා, නිවේදකයා |
දෙමළ කවි පරිවර්තනය කරමින් "සහෝදර පියාපත්" කෘතිය රචනා කළ ඔහු "අර්ධ දරුවා" කෙටි කතා සංග්‍රහයද පරිවර්තන කෘතියක් හැටියට පළ කළේය. දෙමළ නව කවියේ සලකුණ "ව. අයි. ස. ජෙයපාලන්" මෙන්ම "අසල්වැසියාගේ සාහිත්‍යය" යන ශාස්ත්‍රීය කෘති ඔස්සේද ඔහු දෙමළ සාහිත්‍යය සිංහලට හඳුන්වා දෙන්නට මහඟු මෙහෙයක් කළේය.
ළමා විය
ඔහු උපත ලැබුවේ ශ්‍රී ලංකාව මාතර දී ය. සාමාන්‍ය මුස්ලිම් පවුලක උපත ලද ඔහුට සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියෝ දෙදෙනෙක් සිටිති. ඔහු පවුලේ දෙවැනියාය. සිංහල බසට විශේෂ ඇල්මක් දැක්වූ ඔහු පාසල් අවධියේම කවි ගී නිර්මාණ කරන්නට පෙළඹුණේය. පාසලේ බිත්ති පුවත්පත ඔහුට තෝතැන්නක් වූ අතර අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය සඳහා නිර්මාණ සම්පාදනය කරන්නට විය.
උසස් අධ්‍යාපනය
නිලාර් උසස් අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. සිය මව්බස දෙමළව තිබියදීත් සිංහල භාෂාවේ විශේෂ උපාධියක් පංති සාමාර්ථය සහිතව හිමි කර ගැනීම ඔහුගේ විශේෂත්වයකි. අනතුරුව ශාස්ත්‍රපති උපාධිය සිංහල විෂය සඳහාම කැලණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකර ගත්තේය.
කලා හා වෘත්තිය පසුබිම
තුරුණු අවධියේදීම මාතර රුහුණු සේවයට එක්වූ නිලාර් ඉස්ලාමීය සංස්කෘතික හා ආගමික වැඩසටහන් කීපයක් නිෂ්පාදනය කළේය. වෙනත් විචිත්‍රාංග හා නාට්‍ය පිටපත් ද රචනා කොට ඉදිරිපත් කළේය.
රාවය, විවරණ, යුක්තිය වැනි විකල්ප ප්‍රකාශන සඳහා විවිධ නිර්මාණ ලිපි සම්පාදනය කළ ඔහු සිය පළමු වෘත්තිය ලෙස තෝරා ගත්තේ ද විවරණ විකල්ප සඟරාවයි. එහි සංස්කාරකවරයෙකු වශයෙන් නිලාර් දශකයක පමණ කාලයක් කටයුතු කළේය.
විවරණ සඟරාවේ කටයුතු කරන අතරම ජාතික රූපවාහිනියේ පූරකයකු ලෙස එක්වූ ඔහු ශනිදා ආයුබෝවන්, ඉරිදා ආයුබෝවන් ඇතුළු වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවිය. අනතුරුව එහි පූර්ණ කාලීන ශිල්පියකු ලෙස සම්බන්ධ වීම සඳහා රූපවාහිනී පාලන අධිකාරිය ඔහුට ආරාධනා කළේය. ඒ අනුව වැඩසටහන් නිෂ්පාදක, ප්‍රවෘත්ති සංස්කාරක, සහකාර අධ්‍යක්ෂ (ප්‍රචාරක හා මාධ්‍ය) වශයෙන් කටයුතු කළ ඔහු නේත්‍රා නාලිකාවේ අධ්‍යක්ෂ තනතුරට පත්විය. අනතුරුව රූපවාහිනී වැඩසටහන් අංශයේ ප්‍රධානියා වශයෙන් ද ඔහු කටයුතු කරයි.
1990 දශකය මුලදී නිලාර් එන් කාසිම්ගේ ගීයක් මුලින්ම පටිගත කෙරෙන්නේ මාලනී බුලත්සිංහලගේ හඬිනි. ඒ සුසුමක රාවය කැසට් පටය සඳහාය. එතැන් සිට ඔහු පරම්පරා තුනක ගායන ශිල්පීන් ශිල්පිනීන් සඳහා ගීත රචනා කළේය. ජනතා සාහිත්‍ය උළෙලේ සහ ස්වාධීන සාහිත්‍ය උළෙලේ හොඳම ගීත රචකයා ලෙස තුරුණු අවදියේම සම්මානයට පාත්‍ර වූ ඔහු පසුකාලීනව සිග්නීස්, බුන්කා ඇතුළු සම්මාන රැසක් ගීත රචනා කලාව වෙනුවෙන් හිමිකර ගත්තේය.
නිලාර් නියෝජනය කරන පරම්පරාව තුළ සිනමා ගීතය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වා ඇත්තේ ඔහුය. ටෙලිනාට්‍ය වෙනුවෙන් ඔහු ලියූ ගීත කිහිපයක් ම ජනප්‍රියත්වයට පත්විය. එසේම ඔහුගේ ගීත තරුණ පරපුරේ රචකයන්ට පූර්වාදර්ශයක් විය.
නිලාර් එන්. කාසිම්ගේ ගීත රචනා සංග්‍රහ කිහිපයක් පැහැසර අරුණක, කිරිකෝඩු හිතට, වලාකුළු වියන්, සහ සරස වසන්තය යන නම් වලින් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී තිබේ. සරස වසන්තය කෘතිය හොඳම ගී පද රචනා සංග්‍රහය ලෙස විද්‍යෝදය සම්මානය ද හිමි කර ගත්තේය.
මෙරට ගීත කලාව පෝෂණය කළ මුස්ලිම් සංගීතඥයන් සහ ගායකයන් සිටියද ගී පද රචකයෝ නොසිටියහ. එබැවින් ඔහු සිංහල ගීත වංශයේ ප්‍රථම මුස්ලිම් ජාතික රචකයා වශයෙන් අද්විතීය ස්ථානයක පසු වෙයි.
ජනප්‍රිය ගීත
| ගීතය | ගායකයා | සංගීතය |
|---|---|---|
| පැහැසර අරණක | අසංග ප්‍රියමන්ත පීරිස් | සමන්ත පෙරේරා |
| සඳ දිය දෙවුණ සේ | මාලනී බුලත්සිංහල සහ අසංග ප්‍රියමන්ත පීරිස් | සමන්ත පෙරේරා |
මූලාශ්‍ර
- තරිඳු උඩුවරගෙදර (9 අගෝස්තු 2020). "සිංදු ෂෝක්, නම තමයි අවුල කීවා – නිලාර් එන් කාසිම්". www.anidda.lk. අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ්. සම්ප්‍රවේශය 7 ඔක්තෝබර් 2025.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිලාර් එන්. කාසිම් පිළිබඳ තොරතුරු, නිලාර් එන්. කාසිම් යනු කුමක්ද? නිලාර් එන්. කාසිම් යනු කුමක් දර්ශනය කරන්නේ?