රජගල පුරාවිද්‍යා භූමිය

රජගල, හෝ රජගලතැන්න/රාස්සගල යනු ඝන වනාන්තරයකින් වැසී ගිය මුහුදු මට්ටමේ සිට අඩි 1038 (316 මීටර) පමණ උස්වූ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ,උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අයිතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත කඳු වැටියක් වේ. පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන බැව් පැවසේ.

රජගල
රජගලතැන්න, රාස්සගල
මිහිඳු සෑය
උසම ස්ථානය
උස1,038 ft (316 m) 
Geography

පිහිටීම

අම්පාර,මහඔය මහා මාර්ගයේ අම්පාර සිට කිලෝ මීටර 24ක් පමණ දුරින් පිහිටි රජගලතැන්න ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා තිබේ.

ඉතිහාසය

මෙම ස්ථානයෙහි මුල් ඉතිහාසය නිශ්චිත නොවූවත්, ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ශිලා ලිපි හමුවීම නිසා එම සමයේ පමණ සිට මෙහි භික්ෂූන් වහන්සේලා වැඩවසන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු, මෙහි ඉතිහාසය මෙරට බුදු දහමේ පූර්ව අවධියට විහිදෙන බැව් ශිලා ලිපියකින් ප්‍රකාශ වේ. එයට අනූව ලංකාද්වීපයට බුදු දහම රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ රජගලතැන්න විහාරයට වැඩි බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සඳහන් ශිලා ලිපි ද්විත්වයක් මෙරට සොයාගෙන තිබෙන අතර ඉන් එකක් රජගල පුරාවිද්‍යා භූමියෙන්ද; අනෙක මිහින්තලය පුදබිමෙන්ද සොයා ගෙන තිබේ. පැරණි සාධක අනූව මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ මෙහි වූ සෑයක තැන්පත් කර ඇති බැව් පැවසෙයි.

"රාස්සගල" නාමය

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි, රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි පැවසේ.

රජගල විහාරය

දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 119-109) විසින් මෙම විහාරය ආරම්භ කල බව මහාවංශය සාක්ෂි දරයි. ලජ්ජ්තිස්ස රජු විසින් කරවූ ශිලා ලිපි කිහිපයක් රජගලින් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු සහ දප්පුල රජු වැනි රජවරුන්ගේ සමයන්හී මෙම ස්ථානය වැඩිදියුණු කරවා තිබේ.

පැරණි නම්

අනුරාධපුර යුගයේදී මෙම ස්ථානය ගිරිකුම්බිල විහාරය, අරියාකර විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් වලින් හඳුන්වා ඇත. දීපවංශය, මහාවංශය, සහස්සවත්තුප්කරණය, අට්ඨකථා, රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි ග්‍රන්ථ වල මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ.

නටඹුන්

රජගල පුරාවිද්‍යා භූමියෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලිපි සමූහයක් දැකගත හැකිවේ. ඒ අතර කටාරම් ලිපි හා ගිරි ලිපි වේ. ඉන් වඩාත්ම අවධානයට ලක්වන පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන ශිලා ලේඛනය වේ. එමගින් මහින්දාගමනය සම්බන්ධ වංශකථාව තවදුරටත් සනාථ කරනු ලබයි.

රජගල පිහිටි අනෙකුත් නටබුන් අතර අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව, දිය පිහිල්ල හා ඊට සම්බන්ධ සුවිසල් ශිලාමය පාත්‍රා, පුන්කලස දෝතින් රැගෙන සිටින ආකාරය දැක්වෙන මුරගල හා නාග රාජු හා රාජිනිය දැක්වෙන මුරගල ආදිය දැකගත හැකි වේ.

මීට අමතරව ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහලින් ගල් පුවරු යොදා ඉදි කළ පැරණි උළුවස්ස සහිත ගල් ලෙන ඉදිකොට තිබේ. එසේම කාලය අනිෂ්චිත ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත චිත්‍ර ලෙනක්ද මේ පුදබිමේ දැකගත හැකිවේ.

රජගල ලෙන් ලිපිය

ක්‍රි. පූ. 2-1 සියවසට අයත් මෙම ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුක්ත වේ. මෙහි අන්තර්ගතයෙහි, දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ භාර්යාව වූ උපාසිකා ශාමිකාගේ ලෙන, ලෙස දක්වා ඇත.

ගැලරිය

ආශ්‍රිත

  1. ජනනි අමරසේකර. "රජගල විහාරය". AmazingLanka.com. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  2. ප්‍රියංක කුරුගල. "නිව් ආකියෝලොජිකල් ට්‍රේනින් සෙන්ටර් ටු බී සෙට් අප්: අම්පාර රජගල". සන්ඩේ ඔබ්සවර් ඔන්ලියින්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  3. "විසිට් ප්‍රී හිස්ටරික් රොක් ආර්ට් ඉන් රජගල". ට්‍රිප්ඇඩ්වයිසර්.කොම්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  4. "Plate No.429 - රජගල ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් ශ්‍රී ලංකා". RoyalAsiaticSociety.lk. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  5. "Plate No.468 - රජගල ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් ශ්‍රී ලංකා". RoyalAsiaticSociety.lk. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  6. සිරිසමන් විජේතුංග. "ඇඩ්වන්ට් ඔෆ් අරහත් මහින්ද තෙර:ආකියෝලොජිකල් එවිඩන්ස් සර්ෆේසස් ඉන් අම්පාර". සන්ඩේ ඔබ්සවර් ඔන්ලියින්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  7. සිංහරාජ දෙල්ගොඩ. "රජගල - ඇන් ඒන්ෂියන්ට් මොනාස්ට්‍රි ඉන් ද ජංගල්ස් ඔෆ් රුහුණ". අමේසිං ලංකා.කොම්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
  8. "රජගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 13 ජූලි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රජගල පුරාවිද්‍යා භූමිය පිළිබඳ තොරතුරු, රජගල පුරාවිද්‍යා භූමිය යනු කුමක්ද? රජගල පුරාවිද්‍යා භූමිය යනු කුමක් දර්ශනය කරන්නේ?