ගඩලාදෙණිය විහාරය (ධර්මකීර්ති විහාරය) යනු ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටයි. මෙම විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ.
| ගඩලාදෙණිය විහාරය | |
|---|---|
| විස්තර | |
| පිහිටුවීම | |
| නිර්මාතෘ | හතරවන බුවනෙකභාහු රජ |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 7°15′27.02″N 80°33′22.23″E / 7.2575056°N 80.5561750°E |
| පිහිටීම | ගම්පොල |
| ද්වාරය:බුද්ධාගම | |
ඉතිහාසය
ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්රයන්ට අනූව මෙම විහාරය පළමුවන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් ඉදිකරන ලද්දක් වේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැළසුමකට අනූව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.මෙය ගම්පොල යුගයේ ඉදිකල ඉතා වැදගත් සිද්ධස්ථාන යකි
විහාරය
ගඩලාදෙණිය විහාරයේ මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තුකලා ලක්ෂණ දකුණු ඉන්දිය විජයනගර් සම්ප්‍රදායට සමානතා දක්වයි. ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. විහාරය ප්‍රථිමාගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝාවාසයකින් හා දේවාල දෙකකින් සමන්විත වේ. විහාර භූමියෙහි මීට අමතරව පැරණි ශිලා ලිපි කිහිපයක්ද දැකගත හැකිවේ.
කළු ගලින් නිර්මිත විහාරය එකක් පිටුපස එකක් යෙදෙන පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් යුක්ත වේ. එහි ඇතුල් කාමරය තුල රියන් 12 ක් පමණ උස් වූ ඔත් පිළිමයක් හා හිටි පිළිම හතරක් දැකගත හැකි වෙයි. පිටමණ්ඩපය ඉදිරිපිට ස්ථාපිත ගල් කුලුණු ද්විත්වය විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් සේ සැළකේ. එහි වම් ගල් කුළුණ ගණේශ්වරාචාරී විසිනුත් දකුණු කුළුණ ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් කැටයම් කර ඇතැයි පැවසේ. ඒ අනූව වම් කුළුණ හින්දු ආභාසයට අනුවත්, දකුණු කුළුණ බෞද්ධ ආභාසයට අනුවත් සකස් කොට තිබේ.
ශෛලමය බෝධිඝරයකින් වටවූ ගඩලාදෙණිය විහාරයේ වූ බෝධි වෘක්ෂය, දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධියෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි විශ්වාස කෙරේ. එය පළමුවන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබේ. සිද්ධස්ථානයේ වූ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය විජයොත්පහය චෛත්‍යය ලෙස වහරනු ලැබේ. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යෙදීම මගින් ඊට ආරක්ෂාව සළසා ඇත.
එමෙන්ම මෙම විහාරභූමියේ සෙල්ලිපි 6ක් ද පිහිටා තිබේ. ඉන් තුනක් විහාරගෙයට බටහිරින් විහාර සීමාවෙන් පිටත පිහිටියා වූ බෑවුමේ ගලේ කොටා ඇත. ඉන් එක් ලිපියක් හඳුනාගත නොහැකි ලෙසින් විනාශ වී තිබීම කනගාටුවට කරුණකි.තවත් ලිපියක් බෝධියට පැත්තෙන් වූ ගල්තලාවෙහි පිහිටා ඇත.තවත් සෙල් ලිපි(ටැම් ලිපි) 2ක් විහාරගෙය අසල ටැමේ පිහිටා ඇත.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව
- ලංකාතිලක විහාරය, උඩුනුවර
මූලාශ්‍ර
- "ගඩලාදෙණිය විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
- "ගඩලාදෙණිය". මවුබිම. 22 මැයි 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
- "ගඩලාදෙණිය විහාරය (සද්ධර්මතිලක විහාරය)". e-thaksalawa.moe.gov.lk. 14 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
- "සෙල් තලාව මත ශෙෙලමය උරුමය, රජ මහා වෙහෙර ගඩලාදෙණිය". බුදුසරණ. 12 සැප්තැම්බර් 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගඩලාදෙණිය විහාරය පිළිබඳ තොරතුරු, ගඩලාදෙණිය විහාරය යනු කුමක්ද? ගඩලාදෙණිය විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?