ඇම්බැක්කේ ලී කැටයම්

ඇම්බැක්කේ දේවාලය ශ්‍රී ලාංකේය කැටයම්කරුවාගේ ශිල්පීය දක්‍ෂතාව විදහාපාන තවත් එක් ස්ථානයකි. මධ්‍යකාලීන සමයට අයත් දැවයෙන් කරන ලද මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන්ට කැපකරන ලද දේවාලයක් බව සදහන් වේ. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවරට අයත් වෙලම්බොඩ නම් ග්‍රාමයේ මෙම දේවාලය පිහිටුවා ඇත.

ඉතිහාසය

ගම්පොල රාජධානියේ (ක්‍රි.ව 1371) පාලකයකුව සිටි iii වන වික්‍රමඛාහු රාජ්‍ය සමයේ (1358-1374) මෙම දේවාලය ඉදිකරන ලද ඛව සදහන් වේ. දේවාලය ඉදි කිරිමේ නිමිත්ත පිළිඛද ජනශ්‍රැතියෙහි විවිධ අදහස් පවති. ඒ සම්බන්ධයෙන් බලන විට සිංහලෙන් ලියැවුණු ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මේ පිළිබඳ විවිධ තොරතුරැ ඇතුළත් වේ.ඒ අනුව මෙම චිරන්තන පාරම්පරික ඵසේම අලංකාර කැටයම් නිර්මාණ ශිල්පියා ලෙස සදහන්ව ඇත්තේ දෙල්මඩ මූලාචාරි නම් ශිල්පියාය. III වන වික්‍රමඛාහු රජුගේ බිසවක වූ හෙනකදබිසෝ සිහිවිම සදහා නිර්මාණය කරන ලද මෙය මහනුවර රාජධානි සමයේ අලුත්වැඩියා කරන ලදි.

දේවාල කැටයම්

දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු ,බුරුත, නා, හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත. ඇම්බැක්කේ දේවාලය අභියස පිහිටි වාහල්කඩයේ ලි කණු දහයත් ප්‍රධාන ගොඩනැගිල්ලේ දිග්ගෙයි වු ලී කණු 32 ත් අලංකාර කැටයමින් සරසා තිබේ. හේවිසි මඩුව නොහොත් දිග්ගෙයි අලංකාර ලී කැටයම් සමුහයක් දක්නට ලැබේ. එම දිග්ගෙය කණු 32 න් යුක්තය. දිග අඩි 52 ක් වන අතර පළල අඩි 25 කි. එම කණුවල මධ්‍යයේ වු හතරැස් කොටසේ අලංකාර කැටයම් දක්නට ලැබේ.

ගජසිංහ, හංස, නෙලුම්, වෘෂභකුංජරය, නළඟන, මල්ලවපොරය, අසරුවා, හේවායා, ඇත්කදලිහිණියා, සැරපෙන්දියා, කිදුරා, හස්තිකුම්භවිදාරණය, ගිජුලිහිණියා, හේරුණ්ඩ පක්‍ෂියා, මල් ගහ, ලණු ගැටය, කිහිඹි මුහුණ ආදි විවිධාකාර කැටයමින් අලංකාර කර තිබේ.

කණුවේ අටපට්ටම් කොටස නාග බන්ධනයෙන් ‍හෝ ගැටපත් ලිය මෝස්තරයෙන්ද කුළුණු හිස මුතුදැල් මෝස්තරයෙන්ද කුළුණු පාදම ආයත කැටයමින්ද අලංකාර කර තිබේ. කුළුණු හිසින් සතර දිශාවට පහතට එල්ලෙන පේකඩය සැරපෙන්දි මුවකින් නික්මේ. පේකඩයේ යට කොටස හංස පුට්ටුවලින් අලංකාර කර තිබේ. පළල පැත්තේ කණුවල පේකඩ 04 ක් වෙති. පේකඩය මත තැනවු කලාල මැද කැටයම් යොදා තිබේ. කළාඳ හා බාල්කවල ආධාරයෙන් නැංවු කුරුපා මුදුනේ පියස්සේ මුදුන් යට ලීය සවිවී ඇත.

දේවාලයට ප්‍රවිශ්ට වන ස්ථානයේ වාහල්කඩ නම් වු ගොඩනැගිල්ලක් වන අතර එහි අලංකාර කණු 10 ක් වෙයි. හේවිසි මඩුවේ කණුවල එකිනෙක වෙනස් කැටයම් දක්නට ලැබේ. එහි කණුවල හතරැස් කොටසේ ලියපත් මෝස්තර, මව හා දරුවා, පලා‍පෙති මෝස්තර, සිංහයා ආදි කැටයම් වෙයි. මේ කණු සම්බන්ධ පේකඩද අලංකාර කැටයමින් යුක්ත වෙයි.

පිංතූර ගැලරිය

මුලාශ්‍ර

  • Anuradha Senarath - "Kandy"

මේවාද බලන්න

බාහිර සබැදි

  • ඇම්බැක්කේ දේවාලය 1 සංරක්ෂණය කළ පිටපත 2008-03-06 at the Wayback Machine
  • ඇම්බැක්කේ දේවාලය 2 සංරක්ෂණය කළ පිටපත 2008-09-28 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇම්බැක්කේ ලී කැටයම් පිළිබඳ තොරතුරු, ඇම්බැක්කේ ලී කැටයම් යනු කුමක්ද? ඇම්බැක්කේ ලී කැටයම් යනු කුමක් දර්ශනය කරන්නේ?