ගිරය

ගිරය යනු අතීත පරම්පරාවන් අතර බහුල ලෙස භාවිතයට ගැණුනු, සරල ගෘහීය මෙවලමකි. එය කැපෙන තලය සහිත උඩු අත හා උඩු අත හැපෙන යටි අත යන දෑතින්ද, ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන කවාකාර හිසකින්ද සමන්විත වේ. ගිරය එකල බුලත් තට්‌ටුවක අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ සුලභ මෙවලමක් විය. ගිරාකැත්ත යනු ලංකාවේ අනෙක් ප්‍රදේශ වල අසන්නට නොමැති නමුත් ජන වහරට අනුව දඹදෙණිය රාජධානිය කාලයේදී පාවිච්චි කල උපකරණයක් ය. එකල තිබූ වැවක සොරොව්ව මැරුණු ආඳෙකූගෙන් හිරවීම නිසා ජල ගැලීමක් ඇති වී ඇත.එවිට වීර පුද්ගලයෙක් ගිරාකැත්ත නම් උපකරණයක් සදා ජලයේ කිමිදී අවහිරය කපා ඇත.කලින් සකස් කල ලීවරය ක්‍රියාත්මක නොවූයෙන් ඔහු ද ජලය සමග ගසා ගොස් ඇත. එම ගිරය හමුවූ ස්ථානය අද 'ගිරාකැතිකුඹුර'නමින් හැදින්වේ.

නම

ගිරය යන නම තැනීමට මුල්වී ඇති "ගිර" යන වදන අරුත් කීපයක්‌ ගෙන දෙයි. කන්ද, දිසාව, උස, කැපුම් උපකරණය වැනි අදහස් රැසක්ම ඉන් හඟවයි. ගිරයේ හිස ඇතුළු සම්පූර්ණ හැඩය, ගිරවා (පක්‍ෂියා) සිහිගන්වයි.

බිහිවීම

මිනිසා විසින් ලෝහ සොයා ගැනීමත් සමග නිපදවනු ලැබූ විවිධ මෙවලම් අතුරින් බිහිවූ තවත් එක් මෙවලමක්‌ ලෙස ගිරය සැළකේ. භාවිත කරනු ලබන අරමුණ අනූව ගිරය වානේ, යකඩ, තඹ, පිත්තල, රන්, රිදී වැනි ලෝහ වර්ග වලින් නිමැවුණි.

තවත් විශ්වාසයකට අනූව ගිරය යනු සක්දෙවි විසින් මවනු ලැබූ මෙවලමකි.

භාවිතය

පුවක් ගෙඩිවල ලෙල්ල ඉවත් කිරීමටත්, වියළි හා අමු පුවක්‌ මදය කපා ගැනීමටත් ගිරය බහුලව භාවිතා කරයි. එසේම දේශීය වෙදකම තුල නොයෙකුත් ඖෂධ වර්ග කපා ගැනීමටද ගිරය භාවිතා වේ. දෙවියන්ගේ ලෙඩ ඇති වූ විට කුඩා ගිරයක් අතේ එල්ලීමේ සිරිතක්‌ද පවතී.

ගිර වර්ග

පොඩි ගිර

ආභරණයක් ලෙස ගෙල පැළඳීම සඳහා රන්, රිදී, තඹ, පිත්තල වලින් තැනූ ගිර.

වැලකුම් ගිර

තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ වැනි දේ වැළැක්වීම සඳහා ගැහැණු දරුවන්ගේ ඉඟ පැළඳීමට තැනූ ගිර.

පත්තිනි ගිරය

විවාහ චාරිත්‍රවලදී මනාලියගේ මවට පිරි නමන කිරිකඩසේලයේ ගැට ගසන ගිරය.

කුමාරිහාමි ගිර

කාන්තාවන් කොන්ඩ බැඳිමට යොදා ගත් ගිර.

ජන වහර

"ගිරයට අසු උන පුවක්‌ ගෙඩිය වගේ" වැනි ජන වහරයන් ගිරයේ සාමාජයීය බලපෑම් හඟවයි.

දේශීය සංස්කෘතිය තුල

යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම්, ශාන්තිකර්ම, කොඩිවිණ කැපීම ආදී කටයුතු වලදී කිරීමේදී දෙහි කපමින් දෝෂ පහ කරවීමට උපයෝගී කරගන්නා ආයුධයක් ලෙස ගිරය සමාජ සංස්කෘතිය තුල භාවිතා වේ.

එසේම ඇදුරෙකු විසින් ආතුරයෙකුගේ හිසේ සිට දෙපතුල දක්වා ගෙන ගොස් විසි කර දමන ගිරය, භූමියෙහි පතිත වන දිශාව අනූව නිමිති ශාස්‌ත්‍ර කීමද, එකල ජන සමාජය තුල දැකගත හැකිවූ ගිරය හා බැඳි විශේෂ අංගයක් විය.

ආශ්‍රිත ලිපි

ආශ්‍රිත

  1. "මෙවලම් විත්ති ගිරය". දිවයින. 2010-01-17. සම්ප්‍රවේශය 2015-01-15.
  2. "දෙහි කැපීමට ගිරයක් ගන්නේ ඇයි?". මව්බිම. 2012-12-27. සම්ප්‍රවේශය 2015-01-15.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිරය පිළිබඳ තොරතුරු, ගිරය යනු කුමක්ද? ගිරය යනු කුමක් දර්ශනය කරන්නේ?