ජන ක්‍රීඩා

එළුවන් කෑම

එළුවන් කෑම

කුඩා දරුවන් රැසක එකතුවෙන් පවත්වන ක්‍රීඩාවකි. සිංහල අලුත් අවුරුද්දේ දී වැඩිපුර දකින්නට ලැබේ. ළමුන් පිරිසක් අත්වැල් අල්ලාගෙන රවුමක් සාදා ගෙන සිටිති. එහි මැද එක් ළමයෙකු තනිවී ඇත. ඔහු එළුවාගේ චරිතය නිරූපනය කරයි. අත්වැල ට පිටතින් තවත් ළමයෙකු අත්වැල වටා ගමන් කරයි. ඔහු එළුවා දඩයම් කරන්නට පැමිණි කොටියා ය. කොටියා වරින් වර අත්වැල කඩාගෙන ඇතුලට පනින්නට උත්සාහ කරයි. එහෙත් අත්වැල අල්ලාගෙන සිටිම ළමෝ එයට ඉඩ නොදෙති. කෙසේ හෝ කොටියා මැදට පැන එළුවා අල්ලා ගන්නට සූදානම් වුව හොත් එළුවා එළියට පැන අත්වැල් රවුම වටා දුවමින් ගැලවෙන්නට උත්සාහ දරයි. එළුවා අසුවුන හොත් ඔහු කොටියා වෙයි. වෙනත් ළමයෙකු එළුවා ලෙස නිරූපනය කරයි.

එළුවන් කෑම ද සිංහල අලුත් අවුරුදු සමයේ දී කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවකි. විශේෂයෙන් කුඩා පිරිමි දරුවන් මෙම ක්‍රීඩාවට සම්බන්ධ වන අතර, ඇතැම් අවස්ථාවල දී ගැහැණු දරුවන් ද සම්බන්ධ කර ගනී. මෙම ක්‍රීඩාව කවි ගායනයක් සමග ක්‍රියාත්මක කෙරේ. තරමක් දිගු කවි පන්තියක් මේ සදහා උපයෝගී කර ගනී. එය සමූහ ගායනයක් වුව ද තනිවම ගයන පදයක් ද සමූහ වශයෙන් අත්වැල් ගායනයක්ද ඇතුලත් වේ. අත්වැල කඩාගෙන ඇතුලට පනින්නට සිදුවන ිසා තරමක සවි ශක්තිය ඇති පිරිමි ළමෝ මෙම ක්‍රීඩාවට බොහෝ විට සම්බන්ධ වෙති. කොටියා පළමු පදය ගායනා කරයි.

එළුවන් කන්නයි මං ආවේ...

එවිට අත්වැල් පිරිස සමූහ ගායනය කරති.

එළුබෙටි කාපාන් තුන්තීරේ.....

මේ අතර කොටියා වරෙක අත්වැල උඩින් පනින්නට උත්සාහ කරයි. එවිට ඔහු කිව යුත්තේ වෙනත් කවි පදයකි.

උඩින් පනින්...... යනුවෙන් අසමින් ඔහු පනින්නට උත්සාහ කරයි. පිරිස - තල්ල කැඩෙයි..... යනුවෙන් කියමින් ඔහුව වලකයි. තවත් වරෙක - යටින් රිංගන්..... යයි අසමින් ඔහු අත්වැල යටින් රිංගන්නට උත්සාහ දරයි. පිරිස - තිඹොල් ඇනෙයි..... කියමින් වලකති. තවත් වරෙක කොටියා මෙම අත්වැල ගැන විමසයි. - මේ වැල මොකදෝ...- එවිටම පිරිස - මදුවැල... කියා අත්වැල සවිමත් කරති.

මේ වැල මොකදෝ - මදුවැල

මේ වැල මොකදෝ - කිරිවැල

මේ වැල මොකදෝ - වේවැල

මේ වැල මොකදෝ - දම්වැල

තවත් වරෙක කොටියා නොයෙකුත් දේ කියමින් අත්වැල් පිරිස රවටන්නට උත්සාහ කරයි.

- කුරුළු කූඩු ..කූඩු දුටිම්....

පිරිස රැවටෙන්නේ නැත. ඔවුහු එයට පිළිතුරක් බදිති.

- අප දුටු කූඩුවක් නැතී..-

කුරුළු කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

ගිරා කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

ලේන් කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

කාක් කූඩු කූඩු දුටිම් - අප දුටු කූඩුවක් නැතේ

කොටියා ගායනා තාලය වෙනස් කරමින් වෙනත් වෙනත් දෑ කියමින් එළුවාගේ අයිතිය තහවුරු කරන්නට වෙර දරයි. පිරිස එය පිළිනොගෙන පිළිතුරු දෙති.

එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් තුන්දීරේ

හාවුන් කන්ඩයි මං ආවේ - හා බෙටි කාපන් තුන්දීරේ

ගෝනුන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

කුකුළන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

මේ වැල මොකදෝ - මදුවැල

මේ වැල මොකදෝ - කිරිවැල

මේ වැල මොකදෝ - වේවැල

මේ වැල මොකදෝ - දම්වැල

උඩින් පනින් - තල්ල කැඩෙයි

යටින් රිංගන් - තිඹොල් ඇනෙයි

ගේ ගොම ගාලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

ඉලපත දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

දරණුව දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

ඉරගල දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

සදගල දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

මාමා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

නැන්දා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

අයියා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

අක්කා දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

මල්ලී දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

නංගී දීලා ගත් මගෙ එළුවා..- උඹට කොයින්දෑ අපගේ එළුවා....

එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් තුන්දීරේ

හාවුන් කන්ඩයි මං ආවේ - හා බෙටි කාපන් තුන්දීරේ

ගෝනුන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

කුකුළන් කන්ඩයි මං ආවේ - ඒ බෙටි කාපන් තුන්දීරේ

එළුවා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

හාවා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

ගෝනා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

කුකුළා කපා අපේ ගෙටයි - ඒ බඩ වැල් තොපේ ගෙටයි

කොච්චි කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

බුලත් කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

කුඹුරු කොටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා..

හොදට නටඤ්ඤං රාළහාමි දෙනවද එළුවා

- කොච්චර නැටුවත් නොදෙමුව අපගේ එළුවා..

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජන ක්‍රීඩා පිළිබඳ තොරතුරු, ජන ක්‍රීඩා යනු කුමක්ද? ජන ක්‍රීඩා යනු කුමක් දර්ශනය කරන්නේ?