මරියතුමියගේ ස්වර්ගාරෝපණය

මුල් පිටුව | මරියතුමියගේ ස්වර්ගාරෝපණය

රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව, පෙරදිග ඕර්තඩොක්ස් සභාව, සහ ඇංග්ලිකානු ආගමෙහි කොටස් යන්නන්ගේ විශ්වාසයන් පරිදී, අවිධිමත් ලෙසින් ස්වර්ගාරෝපණය ලෙසින් හැඳින්වෙන, ස්වර්ගය වෙත කන්‍යා මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු, ඕතොමෝ ගේ මෙලොව ජීවිතය කෙලවර, ස්වර්ගය වෙත කන්‍යා මරිය තුමිය ශාරීරික වශයෙන් ඔසවා ගැනීම විය.

මරියතුමිය ස්වර්ගය වෙත
ස්වර්ගාරෝපණය වීම
"ඩි හෙමෙල්වාට් වන් මරීයා", රූබන්ස් විසින්, 1626 දී පමණ නිර්මිත චිත්‍රයකි
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව
මංගල්‍යය දිනඅගෝස්තු 15 (ලෝක ව්‍යාප්ත)
ලාක්ෂනික ගුණාංගදේවදූතයන් හෝ ශුද්ධවන්තයන් විසින් වටකරනු ලැබ, මරියතුමිය, ස්වර්ගයට ඔසවනු ලැබීම හෝ ස්වර්ගාරෝපණය වීම සිදුවිය
අනුග්‍රාහකත්වයඅෂුන්සියන්, පැරගුවේ
මෝල්ටා ජනරජය
තායිලන්තයේ රෝමානු කතෝලික ආගම
ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු වසම
ශ්‍රී ලංකාවේ යාපනය රදගුරු වසම

ස්වර්ගාරෝපිත රාජේශ්වරිය

සාන්ත සභා මාතාව නිකිණි මස 15 වන දින ඉමහත් ආනන්දයෙන් යුතුව දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපනය වීමේ මංගල්‍යය සමරන්නීය. ක්‍රි.ව. 5 වන සියවසේ මැද භාගයේ සිට ජෙරුසලෙම් දේවවන්දනා පිළිවෙත් සහ සම්ප්‍රදායෙන් මෙම මංගල්‍යය ආරම්භවූ බවට තොරතුරු ලැබී ඇත. මෙය බිසන්තීනු පිළිවෙත් වල හඳුන්වන්නේ “දේවමාතාවන්ගේ නිද්‍රාගතවීම ” ලෙසටය. මෙම මංගල්‍යය රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම, පෙරදිග ඕර්තඩොක්ස් ආගම, සහ එංගලන්ත සභාව .... ආදී සභාවන් ද සිය විශ්වාසයේ ඉගැන්වීමක් ලෙස ස්වර්ගය වෙත කන්‍යා මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය තුළින් ඕ තොමෝ ගේ මෙලොව ජීවිතය කෙලවර, ස්වර්ගය වෙත ආත්මිකව සහ ශාරීරික වශයෙන් ඔසවා ගැනීම විශ්වාස කරයි. මෙම මංගල්‍යය රෝමානු ජනවන්දනාවට එක්වුයේ ක්‍රි.ව. 6 -7 සියවස් අතර කාලයේදී ය. එනමුඳු මෙම සැමරම සාන්ත සභාවේ වේද සත්‍යයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ 1950 නොවැම්බර් මස 01 වන දින 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසිනි. මෙහි මුලික අරුත වන්නේ මරියෝත්තමාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගය වෙත ඔසවා ගනු ලැබීමය. එතුමිය දුබල මනුෂ්‍ය අප විලසින් මිය යාම වෙනුවට තම මෙලොව දිවිය නිමවූ පසු ආත්ම ශරීර පිටින් ස්වර්ගය වෙත ඔසවා ගැනීම මෙයින් ගම්‍ය වේ.

“ ස්වර්ගාරෝහණය” සහ “ස්වර්ගාරෝපණය ”

“ ස්වර්ගාරෝහණය” සහ “ස්වර්ගාරෝපණය ” අතර වෙනසක් ඇත. “ස්වර්ගාරෝහණය ” යනු තම බලයෙන් සහ මහිමයෙන් ද බලපරාක්‍රමයෙන් ද ස්වර්ගය වෙත පිවිසීමය. මෙහිදී “ස්වර්ගාරෝපණය ” යම් කෙනෙකුගේ බලය හෝ අනුග්‍රහය , බලපරාක්‍රමය ඇතිව ස්වර්ගය කරා යෑම හෝ ඔසවා ගැනිමය. මේ අනුව ස්වකීය බලපරාක්‍රමය , මහිමය සහ දේවත්වය තුළ දේවපුත්‍ර ජේසු සමිදාණෝ (පිලිප්පි 2/ 6 - 11 ) ස්වර්ගාරෝහණය වූ සේක. (මාක් 16/ 19 -20 ), (ලුක් 24/ 50 - 53 ) , (ක්‍රියා 1/ 6 - 10) එහෙත් මරියෝත්තමාවන් ස්වර්ගාරෝපණය වුයේ සිය ප්‍රේමනීය පුත්‍රයාණන් වූ ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ අනුග්‍රහය , බලපරාක්‍රමය සහ මහිමය හේතුකොට ගෙන බව ශු. සභා සම්ප්‍රදායේ එන්නාවූ ඉගැන්වීම් තුලින් පැහැදිලි ලෙස විග්‍රහ කරයි.

ජනප්‍රවාදයේ එන්නාවූ කථා පුවත

ජනප්‍රවාදයේ සහ ඇතැම් අසම්මත සුභාරංචි තුළ මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය හෙවත් නිද්‍රාගත වීම පිළිබදව විස්තර කර ඇත. ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ ස්වර්ගාරෝහණයෙන් පසු එතුමිය ශු. ජොහාන් අපෝස්තුළුතුමන් සමග විසු බවත් එක් දිනක් ඕතොමෝ රෝගීව ඔත්පලව සිටි බවත් , පසුව එතුමිය මිය බවත් සදහන් කරයි. ජුදා සිරිතට අනුව ඉතා ඉක්මනින් ඕතොමන්ගේ ශරීරය ගල්ලෙනක තැම්පත් කල බවත් , ඇගේ මියයාම සෙසු අපොස්තුළුවරුන්ට සැලවී ( ශු. තෝමස් අපෝස්තුළු තුමා ) ඔවුන් ලහි ලහියේ ජෙරුසලමට පැමිණ අවසන් වරට හෝ ඔතොමන්ගේ මුව මඩල දකින්නට අවස්ථාවක් ලබා දෙන ලෙස ශු. ජොහාන් අපෝස්තුළුතුමන් ගෙන් ඉල්ලු බවත් එතුමන් ඔවුන්ගේ බලවත් අවිලිල්ලට අනුව සොහොන් ගැබ විවෘත කල විට ඕතොමන්ගේ ශරීරය සතප්වා තිබු ස්ථානයේ මෘත දේහය වෙනුවට රෝස මල් යහනාවක් තිබු බව සදහන් කරයි. එම ජනප්‍රවාදය මුල් කිතුනු සභා සම්ප්‍රදායේ සිටම පැවත එයි. අදත් ජෙරුසලමේ ඔලීව කන්දේ කිදොන් වැලි හි එතුමිය ස්වර්ගාරෝපණය නොහොත් නිද්‍රාගතවූ බවට සැලකෙන ස්ථානයක් පවතී.

සභා පිය ඉගැන්වීම්

මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබදව පළමු සභා පිය සාක්ෂි යක් හමුවන්නේ පෙරදිග සභාවේ තෙයෝටෙක්නොස් රදගුරුතුමාගේ වාර්තාගත දේශනයක් තුළිනි. එහිදී සෙසු පෙරදිග සභාවන් දක්වන ආකාරයට “ නිද්‍රාගතවිමක් ” නොව සෘජුවම “ ස්වර්ගාරෝපණ වීමක් ” සිදුවු බව හඳුන්වා දී තිබේ. ක්‍රි.ව. 431 දී එපීස මන්ත්‍රණ සභාවේ සහ ක්‍රි.ව. 451 දී කැල්සිඩොන් මන්ත්‍රණ සභාවේදී මරියෝත්තමාවන් දේවමාතාවන් ලෙස පිළිගනු ලැබුවද එතුමියගේ ස්වර්ගාරෝපණ වීම පිළිබදව එතරම් කරුණු සදහන් කර නැත. එහෙත් මුල් කාලයේ සිටම සභා පියවරු නව ගිවිසුමේ “ නව ඒව ” ලෙස ඕතෝමන් පෙන්වා දී ඇත. විශේෂයෙන් ශු. ජුවාම් දමසේනු මුනිතුමා සහ පාදුවාහි ශු. අන්තෝනි යන මුනිවරුන් සිය ඉගැන්වීම් සහ දේශනා තුළ දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබදව සෘජුවම සිය ලේඛන සහ දේශනා තුළ කරුණු ගෙනහැර පායි.

වේද සත්‍ය ප්‍රකාශනය

ක්‍රි.ව. 1854 දෙසැම්බර් මස 08 වන දින 9 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් සමස්ථ සභාවටම පිළිගත යුතු වේද සත්‍යයක් ලෙස දේවමාතාවන්ගේ නිර්මල පිළිසිඳීම පිළිබද වේද සත්‍යතාව ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබඳව ඉගැන්වීම ද වේද සත්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස දේව ජනතාව ප්‍රමුඛ රදගුරු තුමන්ලා ශුද්ධාසනයෙන් අයැද සිටි අතර , මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝ පුරා විසු සියලුම රදගුරුතුමන්ලාගෙන් විමසීමෙන් පසුව 1950 නොවැම්බර් මස 01 වන දින, රෝමයේ ශා. පීතර බැසිලිකා චතුරශ්‍රයේ දී ලක්ෂ 04 ක් වූ දේවජනතාවක් හමුවේ 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණය සමස්ථ සභාවටම පිළිගත යුතු වේද සත්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

“ නිර්දෝෂවූ දේවමාතාවන් වූ නිත්‍ය කන්‍ය මරියෝත්තමාවන් තමන්ගේ මෙලොව ජීවිතය අවසන් කළ පසු , ආත්ම ශරීර පිටින් ස්වර්ගාරෝපණය වූ බව , දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරන ලද සත්‍යතාවක් බව මෙයින් ප්‍රකාශනය කර සිටිමු ...”

ස්වර්ගාරෝපණය පිළිබඳ සදහන් ශු. ලියවිලි පදනම

දේවවචනයේ සදහන් ආකාරයට පුරාණ ගිවිසුමේ ඇතැම් පුද්ගලයෝ දෙවිසමිදුන්ගේ අනුග්‍රහය තුළ ස්වර්ගාරෝපණය වුහ.

1. ඒනොක්ගේ ස්වර්ගාරෝපණය - “ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.” ( උත්පත්ති 5/ 24)

2. මෝසෙස්ගේ ස්වර්ගාරෝපණය - “මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය. උන් වහන්සේ බෙත්-පෙයොර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.” ( ද්විතීය නීති සංග්‍රහය 34/ 5-6 )

3. එලියාගේ ස්වර්ගාරෝපණය - “තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. එලිෂා ඒ දැක, ”ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය.” ( 2 රාජාවලිය 2/ 11 - 12 )

ජුදා සම්ප්‍රදායට අනුව ඒනොක්, මෝසෙස් සහ එලියා දෙවිසමිඳුන්ට ප්‍රසන්න පුද්ගලයන් ලෙස ක්‍රියා කළ නිසා ඔවුන් වහන්සේ ඔවුන් ස්වකීය ආත්ම සහ ශරීර පිටින් ස්වර්ගය වෙත ඔසවා ගත බව සදහන් වේ. පුරාණ ගිවිසුමේ පුර්ණත්වය වූ නව ගිවිසුම තුළ ස්වර්ගාරෝපණය පිළිබද ඉගැන්වීම් අපට හමුවන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් පාදක කර ගනිමිනි. එය ඔවුන්වහන්සේ විසින් විසින් තම ශ්‍රාවකයන් ප්‍රමුඛ සභාවට ලබාදුන් අති ශ්‍රේෂ්ඨ වූ ද , දයාබර වුද , පොරොන්දුවකි.

“මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි...( ජොහාන් 14/ 3 )

“පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි....” ( ජොහාන් 17/ 24 )

මෙහිදී ඔවුන්වහන්සේ වදාළ එම පොරොන්දුව පුර්ණත්වයට පත් කරනු මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය තුළින් බව ශු. සභාවේ පිළිගැනිම සහ ඉගැන්වීම වේ. මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබදව කතා කිරිමේදී ශු. පාවුළුතුමාගේ ඉගැන්වීම් තුළ මෙලෙස අපට හමුවේ.

“...... හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන්වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය. පසුව අවසානය පැමිණේ. එවිට උන් වහන්සේ සියලු අධිපතිකම් ද බලය ද පරාක්‍රමය ද අභිබවා උන් වහන්සේගේ රාජ්‍යය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක. මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ.....” ( 1 කොරෙන්ති 15/ 23 - 26 )

එය සභා සම්ප්‍රදාය තුළ අපට ප්‍රබලව කරුණු ගෙනහැර පායි. ඒ මන්දයත් වචනයේ දාසියක ලෙස අසම්මත වූ දේව සැලැස්මට හිස නමා, එය තමන්ගේ හදින් ද, ගතින් ද, මනසින් ද පිළිගත් ඕ තොමෝ පියාණන් වහන්සේගේ ප්‍රිය දියණිය ලෙස ද, පුත්‍රයාණන් වහන්සේට කරුණාබර මාතාවක ලෙසට ද ශුද්ධාත්මයාණන් වහන්සේට ඔබින වාසස්ථානයක් හා ප්‍රිය කාන්තාවක ලෙසට ද ගැලවීමේ ඉතිහාසයට සෘජුවම දායක වෙමින් ශ්‍රී වචනයාණන් වූ කිතු සමිඳාණන් තම කුස දරා බාධක, කරදර, කම්කටොΩ`ඵ මැද ඇදහිල්ලේ මවක වූවාය.

තම පුත්‍රයාණන්ගේ ගැලවීමේ ක්‍රියාදාමයට සෘජුවම හා නිහඬ ව හා සියල්ල සිත්හි නිදන් කර ගනිමින් ක්‍රියා කළ ඕතුමිය කුරුසිය මත මානව වංශයේ ගැලවීම උදාකළ අවස්ථාවේදී අප සැමගේ සදාදර ස්වර්ගීය මව වූවාය. “මෙන්න ඔබේ අම්මා” (ජොහාන් 19) ලෙස ජේසු සමිඳාණෝ ප්‍රේමවන්ත ශ්‍රාවකයා තුළින් අප වෙත දායාද කළ ශු. සභාවේ මාතෘත්වය කෙසේ නම් විස්තර කරනෙමුද? මෙහිදී දේවපුත්‍ර ජේසුස් සමිඳුන්ගේ ඉගැන්වීම් ප්‍රකාර එතුමියගේ ස්වර්ගාරෝපණය මඟින් අපට කරුණු දැක්වේ. ඒ මන්දයයත් දෙවිදාණෝ ගාබි්‍රයෙල් දේවදුතයා මගින් එතුමියට අනාවරණය වූ ප්‍රකාර එතුමිය දෙවිඳුන් විසින් තෝරාගත් නිසාද එතුමිය තුළ දේව වරප්‍රසාද වලින් පුර්ණව පැවතීම නිසාද ( ලුක් 1/ 26 - 38 ) මරියෝත්තමාවන් පාපයේ ප්‍රතිඵලයකට ලක් නොවුවාය.

එම නිසා ලෝකාරම්භයේ සිට ඇතිවූ පාපයේ රුද්‍ර භාවය එතුමිය කෙරේ බලපවතුනේ නැත. “දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” ( උත්පත්ති 3/ 19) යන වදන එතුමිය කෙරේ නොපැවතුනි . එනමුඳු තමන් මෙලොව වඩාත් ම ප්‍රේම කළ තම මෑණියන්ගේ සිරි සිරුර දිරා යන්නට ඔවුන්වහන්සේ කිසි දිනක ඉඩ නොහරින බව එකාන්තවම අපට ප්‍රකාශ කල හැක.

කොළඹ අග්‍රරාජගුරු පදවියේ නාමසාන්තුවරිය

ක්‍රි.ව. 1950 නොවැම්බර් මස 01 වන දින 12 පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය ශු. සභාවේ වේද සත්‍යතාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සමස්ථ සභාව තුළ මෙන්ම ලාංකේය ශු. සභාව තුළ ද ඕතොමන්ගේ ස්වර්ගාරෝපණය පිළිබඳ කතිකා වන්නට විය. මෙම භක්ති ප්‍රණාමය දුටු එවකට කොළොම්පුර අග්‍රරාජගුරුප්‍රසාදී දේවසේවක අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ ( නි.ම.නි.) හිමිපාණෝ සසුන් අවසරය ඇතිව ක්‍රි.ව. 1954 ජුනි මස 28 වන දින “ භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියෝත්තමාවන් කොළොම්පුර අග්‍රරාජගුරු පදවියේ නාමසාන්තුවරිය ” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. තවද යාපනය රදගුරු වසමේ ද නාම සාන්තුවරිය ලෙස ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නම් කර ඇති අතර , ලක්දිව පස් වන වසම සහ ආසන දෙව්මැදුර වන ත්‍රිකුණාමලයේ ද , ලක්දිව 12 වන රදගුරු වසම වන මඩකලපුව රදගුරු වසමේ ආසන දෙව්මැදුර ද ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් නම් කර ඇත.

අඩවියෙන් බැහැර පිටු

  • මරියවේදය Theology.lk
  • ගිවිසුම් කරඬුව නොහොත් නිර්මල මරියතුමිය
  • මරියෝත්තමාවන්ගේ නිත්‍ය කන්‍යභාවය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මරියතුමියගේ ස්වර්ගාරෝපණය පිළිබඳ තොරතුරු, මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු කුමක්ද? මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.