රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වේ. විශේෂයෙන් ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම සහ දිවයිනේ ඒ ආශ්‍රිත වෙනත් දකුණු හා නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලදී මෙම රිටිපන්න ක්‍රමයට ධීවර වෘත්තියේ යෙදෙන්නවුන් දැකගත හැකිවේ. රිටි මත සිට මසුන් ඇල්ලීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී බහුල වශයෙන් යොදා ගන්නා දේශයේ අනන්‍ය වූ සංඛේතාත්මක නිරූපකයක් ලෙසද වැදගත් වේ.

ඉතිහාසය

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රමය සාම්ප්‍රදායික ජනයා අතර මුලින්ම භාවිතයට පැමිණියේ කුමන සමයේද යන්න අපැහැදිලි වේ. පැරණි ධීවරයන්ගේ තොරතුරු අනූව මෙම ක්‍රමය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව කාලයේදී ආරම්භ වී තිබේ.

රිටිපන්නය

මසුන් ඇල්ලීම සඳහා ධීවරයෝ විසින් මෙහිදී නොගැඹුරු මුහුදු පතුලේ ස්ථාවරව සිටුවන ලද කණුවක් හා ඊට තිරස්ව ගැටගසන ලද දණ්ඩක් භාවිතා කරනු ලබන අතර එය රිටිපන්නය ලෙස හඳුන්වනු ලබයි. කණුවට සම්බන්ධව තිරස්ව ජල මතුපිට සිට මීටර 2ක් පමණ උසින් පිහිටි දණ්ඩ නැතහොත් පෙත්ත ධීවරයාට රිටිපන්නයේ සමතුලිතව සිටීමට වැදගත් වේ. රිටිපන්නය බොහෝ විට කදුරු, කඩොල්, ඇට්ටෝනියා වැනි මුහුදු ජලයට ඔරොත්තු ලෙස ලී වර්ගයකින් සාදාගනු ලබනු අතර බිලී පිත්ත කිතුල් ලීයෙන් නිර්මාණය කර ගනු ලබයි.

මසුන් ඇල්ලීම

සාමාන්‍යයෙන් රිටිපන්න ක්‍රමය, කුම්බලාවන්, හුරුල්ලන් ආදී කුඩා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා යොදා ගනු ලබන අතර එලෙස අල්ලා ගනු ලබන මසුන් රිටිපන්නයේ හෝ ධීවරයාගේ ඉණ වටා ගැට ගසා ඇති කුඩා මල්ලකට එකතු කර ගනු ලබයි. මෝසම් සෘතුවේ මුහුද රළු දිනවලදී බොහෝ ධීවරයන් නොගැඹුරු මුහුදේ රිටි මත සිට මසුන් ඇල්ලීමට යොමුවන බැවින් එම සමයේදී රිටිපන්න මත සිට මසුන් අල්ලන්ගේ ප්‍රමාණය අනෙක් කාලයන්ට වඩා සාමාන්‍යයෙන් වැඩිය.

මූලාශ්‍ර

  1. "ස්ටිල්ට් ෆිෂර්මෙන් ඔෆ් ද සදර්න් කෝස්ට්". සන්ඩේ ටයිම්ස්. 10 මැයි 2015. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2016.
  2. "ස්ටිල්ට් ෆිෂිං". සිලෝන්ටුඩේඇඩ්වයිසර්. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2016.
  3. "සුද්දන්ගේ ඡායාරූපවලට සීමා වූ රිටිපන්න ධීවරයෝ". රිවිර. 27 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2016.
  4. "දි ඕල්ඩ් කස්ටම් ඔෆ් ස්ටිල්ට් ෆිෂිං ඉන් ශ්‍රී ලංකා". ෆ්‍රැක්චල්එන්ලයිටන්මන්ට්. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු, රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු කුමක්ද? රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු කුමක් දර්ශනය කරන්නේ?