සේරුවාවිල මංගල රජ මහා විහාරය යනු නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඇති පාරිශුද්ධ වූ බෞද්ධ සිද්ධස්ථාන වන (සොලොස්මස්ථාන) 16 අතරින් 9 වන ස්ථානය වන තිස්සමහාවිහාරය ලෙස හදුන්වන විහාරය වේ.
| සේරුවිල මංගල රජ මහා විහාරය | |
|---|---|
සේරුවිල මංගල රජ මහා විහාරය | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | සේරුවාවිල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 8°22′15″N 81°19′09.8″E / 8.37083°N 81.319389°E |
| අනුබැඳියාව | ථේරවාද බුදුදහම |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
| ජනපදය | සේරුවාවිල |
| පළාත | නැගෙනහිර පළාත |
| නායකත්වය | විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්ථවිර |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | පුරාණ බෞද්ධ විහාර - මුල් අනුරාධපුර යුගය |
| ගෘහනිර්මාණ ශෛලිය | මහා විහාර සම්ප්‍රදාය |
| ආදිකර්තෘ | කාවන්තිස්ස රජු |
| සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.පූ. 2 වන සියවස |
| නම්කෙරුණේ | |
එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ (පූජනීය නළල් ධාතුව) හා කේශ ධාතු තැන්පත් කර කාවන්තිස්ස මහ රජු (ක්‍රි.පූ. 2 වන සියවස) විසින් ඉදිකරන ලද්දකි.
ගොඩබිමෙන් සහ මුහුදෙන් විහාරය වෙත ළඟා විමට හැකි අතර මුහුදු මාර්ගය ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා බෝට්ටුවකින් ආරම්භ වන අතර තවත් කිලෝමීටර් 16 ක දුරක් අතුරු මාර්ග වලින් ගමන් කළ යුතුය.ගොඩබිම් මාර්ගය කන්තලේ හරහා අල්ලයි මාර්ගය ඔස්සේ වන අතර එහි ආසන්න වශයෙන් කිලෝමීටර 45 ක් පමණ ගමන් කළ යුතුය.මීට අමතරව සෝමාවතියේ සිට ඝන වනාන්තරය හරහා වැටී ඇති සෝමාවතිය-සේරුවිල මාර්ගය ද සේරුවාවිල මංගල රජ මහා විහාරය වෙත ළගා විය හැකි තවත් මාර්ගයකි.
සුවිශේෂත්වය
- බුදුරජාණන් වහන්සේ,උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී පන්සියක් මහරහතන් වහන්සේල සමග මේ බිමට වැඩමකර නිරෝධසමාපත්තියට සුලු මොහොතක් සමවැදී සිටි පාරිශුද්ධ පින්බිමකි.
- එසේම ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සමග සේරුවාවිලට පැමිණ සිටි සමිද්ධිසුමන නා රජු විසින් බුදුරජුන් හට ලබා දුන් සපුමල් උන්වහන්සේ මේ භූමිය වෙත ඉස පූජා කල බව ධාතුවංශය තුල වේ.එවන් සිදුවීමක් පිලිබදව සදහන්ව ඇත්තේ මෙය පමණකි.
- බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතූන් වහන්සේ වන ලලාට ධාතූන් වහන්සේ තැන්පත්ව ඇති එකම ස්ථානයයි.
- එසේම තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ ලැබුණු කේශ ධාතු කොටසක් පසුව භූමින්දර නාගභවනේ ජයසේන නම් නාරජු වෙත හිමිවූ අතර සිව නම් මහරහතන් වහන්සේ භූමින්දර නාගභවනට වැඩම කොට නැවත මනුලොවට වැඩම කරවූ අතර එම කේෂ ධාතූන් වහන්සේල සේරුවාවිල ස්තූපය තුල නිධන්ව ඇති බවට සඳහන් වේ.
- සේරුවාවිල පුදබිම අතීතයේ මහරහතන් වහන්සේල 500 ක් වාසය කල බවට මූලාශ්‍ර සාධක වේ.සමහර පුරාවිද්‍යාඥයන් 12000 ක් මහරහතන් වහන්සේල වැඩසිටි මූලාශ්‍ර තුල සදහන් තිස්සමහාරාමය මෙය බවටද පිලිගනී.
භෞතික ලක්ෂණ
ඉතිහාසය
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේල ද්‍රෝණ බමුණා විසින් ප්‍රදේශ 8 ක සිට පැමිණි රජවරු වෙත බෙදා දුන් අතර එසේ එක් ද්‍රෝණයක් ධාතූන් වහන්සේල කුසිනාරා නුවර මල්ල රජදරුවන්ට ලැබුණු බව සදහන්වේ. ඒ ධාතු කොටස තුල ලලාට ධාතූන් වහන්සේ වැඩසිටි අතර බුදුසසුනේ තෘතීය ශ්‍රාවක වූ ධුතාංගධාරී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් එම ධාතූන් වහන්සේ මල්ල රජදරුවන්ගෙන් ඉල්ලා ගනු ලැබීය.ඒ ලලාට ධාතූන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් සිදුකල බුද්ධ අධිෂ්ඨානය දන්වා සිටීමෙනි.
එම බුද්ධ අධිෂ්ඨානය තුල අනාගතයේ ලක්දිව මහාවාලුකා නදියේ දකුණුතෙර,සේරු නම් විල් කෙළවර, වරාහ සොණ්ඩ නම් ගල් කෙමිය සමීපයෙහි කාවන්තිස්ස නම් මහරජෙකු විසින් ලලාට ධාතුන් වහන්සේ නිධන් කර දාගැබයක් කරවන බව සදහන්ව තිබුණු බව මූලාශ්‍ර තුල දැක්වේ.
ඒ අනුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ලලාට ධාතුව මල්ල රජදරුවන්ගෙන් ලබාගෙන අනාගත වාක්‍යය පවසා එය තම ශිෂ්‍ය නන්ද තෙරුන් වහන්සේට ලබාදුන් බවත් උන්වහන්සේ ලලාට ධාතුව විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ගන්ධකුටිය තුල තැන්පත් කර පුදසත්කාර පවත්වූ බවත් සදහන් වේ.කල්ගතවන විට නන්ද තෙරුන් අරහත්වය ලබා මහලු වියේදී පරිනිවීමට ආසන්න වූ විට උන්වහන්සේගේ ශිෂ්‍ය චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේට ඉතිහාස කතාව පවසා ලලාට ධාතු බාරදුන් අතර උන්වහන්සේ එම ධාතූන් වහන්සේ සැවැත්නුවර ගන්ධකුටියේ තැන්පත් කර පුදසත්කාර පැවැත්වීය.පසුව පිලිවෙලින් භද්‍රසේන,ජයසේන,සංඝරක්ඛිත හා මහාදේව යන මහරහතන් වහන්සේලට ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් හිමි වූ අතර උන්වහන්සේල ද ලලාට ධාතුව දඹදිව පිහිටි බුදුරජුන්ගේ විවිධ ගන්ධකුටි තුල තැන්පත් කර පුදසත්කාර කල බව සදහන්වේ.
අවසාන වශයෙන් හිමි වූ මහාදේව මහරහතන් වහන්සේ ලක්දිව බුදුසසුන පිහිටි පසු සුදුසු කල රුහුණ පාලනය කල මහානාග රජ සමයේ (අනුරාධපුරය දේවානම්පියතිස්ස මහරජ පාලනය කල සමය) රුහුණේ හත්ථොට්ඨ ජනපදයේ වනය තුළට තම ශිෂ්‍යයන් සමග වැඩම කල බවත් සදහන්වේ.එහිදී ධාතූන් වහන්සේ තුලින් සතර පෝයට රාත්‍රී කාලයේ වනාන්තරය තුලින් ඉහලට සුදු රැස් විහිදුණු බවත් එය දුටු මහාකාල නම් උපාසකයෙකු ධාතූන් වහන්සේ කෙරෙහි පැහැදි ධාතුගරයක් සදා දුන් බවත් පසුව එය රුහුණු රට පාලනය කල මහානාග යුවරජ වෙත දැන් වූ බවත් සදහන් වේ.පසුව මහානාග රජු විසින් ලලාට ධාතුන් වහන්සේ මාළිගය වෙත වඩමවා තම භාරකාරත්වය යටතේ තබාගත් බවත් එතුමාගෙන් පසුව යටාලතිස්ස, ගෝඨාභය රජුටත් පරපුරෙන් පරපුර හිමි වූ අතර ගෝඨාභය රජුගෙන් එය කාවන්තිස්ස රජු වෙත හිමි විය.
ඉන්පසුව රජු අනාගත වාක්‍ය පරිදි විහාරමහාදේවියගේ සොහොයුරකු වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේගේ සහ තිස්ස විහාරීය(වංශකතාවල සදහන් දකුණු පලාතේ ඇති දැනට නිවැරදිව හදුනාගෙන නොමැති තිස්ස විහාරය) සාගල මහරහතන් වහන්සේගේ උපදෙස් මත සේරුවාවිල ප්‍රදේශයේ වරාහසොණ්ඩ නම් ගල්කෙම අසබඩ ස්තූපය කරවූ බව සදහන් වේ.එසේම ස්තූපය ඉදිකිරීම උදෙසා ඊට ආසන්නව පිහිටි,දකුණු දළදා වහන්සේ නිධාපිත සේරුවිල සෝමනුවර සෝමාවතී විහාරයේ(වර්තමාන සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය) මහා මහින්ද නම් මහරහතන් වහන්සේ සහ 50 නමක් වූ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසේත්,සේරුනුවර පාලනය කල ප්‍රාදේශීය රජකු වූ සිව රජුගේත්,සෝමනුවර ගිරිඅභා රජුගේත්,ලෝණ නුවර රජුගේත් නොමද සහය ලැබුණු බව සදහන් වේ.
පසුව,ස්ථූපයේ ධාතුගර්භය මනරම්ව නිර්මාණය කර එහි පිහිටි රන් බුද්ධ ප්‍රතිමාවේ නළල් තලය මත ලලාට ධාතුව තැන්පත් කල අතර (රජුගේ අධිෂ්ඨානයක් මත වූ බව කියැවේ) රහතන් වහන්සේල විසින් නා ලොවින් ගෙනෙන ලද කේශ ධාතු ද එසේ ප්‍රතිමාවේ ශීර්ෂයේ පිහිටුවා වදාළ බව දැක්වේ.
වැඩ නිමකරන ලද සේරුවාවිල ලලාට ධාතු ස්ථූපය චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ හා සාගල මහරහතන් වහන්සේ ප්‍රධාන සඝ පිරිස වෙත පැවරූ බවද,රජු විසින් ස්ථූපයේ සිට තුන්යොදුනක් මානයේ ගම් බිම් විහාරයට පූජා කල බවත් වංශකතා තුල සදහන් වේ.
වර්තමාන ප්‍රතිසංස්කරණ
ක්‍රිස්තු වර්ෂ 1215 දී පමණ සිදු වූ කාලිංග මාඝ ආක්‍රමණ සමග මේ පුදබිම් ගරා වැටුණු අතර 1921 දී පමණ කැලෑවෙන් වැසී තිබූ මේ පුදබිම නැවත සොයාගනු ලැබුවේ අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවයේ මහානායක ධුරන්ධරව වැඩවිසූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහානායක හිමියන් විසිනි.
ඒ ,ඒ වනවිටත් ලලාට ධාතු ස්ථූපය ලෙස දකුණු පලාතේ විහාරයක් තිස්සමහාරාමය ලෙස හදුන්වාගෙන තිබූ පසුබිමක සුමේධංකර හිමයන් ධාතුවංශය කියවා නිවැරදි ස්ථානය දැන ගාල්ල,දොඩන්දූව වරායෙන් දායකපරිසක් සමග නැව්නැග ත්‍රිකුණාමලයට පැමිණ ඝන කැලෑව තුල සේරුවාවිල පුදබිම සොයාගැනීමත් සමගිනි.සේරුවිල පුදබිම සොයාගන්නා විට උන්වහන්සේ යොවුන්ස්වා වියේ පසුවූ ලබාල ස්වාමීන් වහන්සේ නමක් විය.
සේරුවිල ස්ථූපය සොයාගෙන වර්ෂ දෙකකට පමණ පසු චෛත්‍යය වර්ධන සමිතිය නම් සමිතියක් පිහිටුවා ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණු අතර වසර 6 කින් වැඩ නිම කරනු ලැබීය.උන්වහන්වසේ 1984 දී අපවත් වුණු අතර ඉන්පසුව උතුරු - නැගෙනහිර පැවති කොටි ත්‍රස්‌තවාදය හමුවේ විහාරය රැකගෙන විහාරාධිපතිත්වය දරන ලද්දේ සේරුවිල සරණකිත්ති අනුනාහිමියන් විසිනි.
ස්තූපය සොයාගෙන ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව බදාම තට්ටුව ඉරිතැලීම් ආදිය වැනි කරුණු මත 2012 දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුලු මහමෙව්නාව අසපුව සංචිතයේ දායකත්වයෙන් ස්ථූපයේ අවසන් වරට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය.
2016 දී සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව මුංහේනේ මෙත්තාරාම නා හිමි විහාරාධිපති ධූරයට පත් විය. 2021 දී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ හා සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ ශිෂ්‍ය නමක් වන අලුදෙණියේ සුබෝධි නා හිමි විහාරාධිපති ධූරයට පත් විය. උන්වහන්සේගේ ධර්මාචාර්යයන් වහන්සේ වන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ය. වන විට සේරුවාවිල මංගල රාජමහා විහාරය උන්වහන්සේගේ විහාරාධිපතිත්වය යටතේ අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවයේ ප්‍රධානතම විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන එනු ලබයි.
පුරාවිද්‍යාත්මක සාධක
අවධි කිහිපයක පුරාවිද්‍යාත්මක සාධක හමුවන අතර විහාරය මුල් අනුරාධපුර යුගයට අයත් වේ.සේරුවාවිල ගිරි ලිපිය තුල මෙම විහාරය තිස්සමහාවිහාරය ලෙස හදුන්වා තිබෙන අතර,ධාතුවංශය තුල ද මේ විහාරය තිස්සමහාවිහාරය ලෙස හදුන්වා තිබේ.
නයිපෙන නවයකින් සහ හතකින් ආවරණය ලත් බුද්ධ ප්‍රතිමා 3 ක් හමුව තිබේ. මීට අමතරව කටාරම් කොටන ලද ගල් ගුහා කිහිපයක් ද,ඉපැරණි බෝධිඝරයක්,වරාහ සොණ්ඩ නම් ගල්කෙම,ආරාමික නටඹුන්,ශෛලමය මල් ආසන සහ ශෛලමය පොකුණු දැකගත හැකිවේ.
ලංකාවේ කිසිදු විහාරයක දක්නට නොලැබෙන ගඩොල් වාහල්කඩ සතරක් ද ස්තූප මලුවේ වේ.
වන්දනා ගාථාව
ලංකාවධූ පියපති සිරිකාකවණ්ණ
තිස්සව්හයේන මුණිරාජ ලලාට ධාතුං
ගබ්භේ නිධාපිය සුණිම්මිත ඡාරූරූපං
වන්දාමි මංගල මහං ථුල ථූපරාජං
සේරුනාම සරාසංන්නේ සාරථි සරඨානගං
වන්දේ කාරිතතිස්සේන ලලාට ධාතු චේතියං
සේරු නම් විල
මෙම ප්‍රදේශයේ සේරුවිල නම් විලක් පිහිටා ඇති අතර එය අතීතයේ අක්කර 12000 කට වඩා විශාල විලක් වූ බවටත් එය ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ජලාශය වූ බවටත් වාර්තා තිබේ.පසුව ඇතිවූ ස්වභාවික ව්‍යසන නිසා විලට හානි වූ අතර 1980 වැනි පසුකාලයේ සිට විලේ විල්ලු ප්‍රදේශ මිනිසුන් වගා කටයුතු සහ වෙනත් කටයුතු අත්පත් කරගනිමින් ගොඩ කිරීම වැනි කරුණු නිසා වර්තමානයේ අක්කර 1000 කටත් වඩා අඩු භූමි ප්‍රදේශයක් බවට පත් වී තිබේ.අද ද සේරු නැමැති පක්ෂීන් රංචු වශයෙන් දැකිය හැකි මෙහි, වර්තමානයේ සේරුවිල ජලාශය යන නම වෙනුවට අල්ලායි ජලාශය යන නම භාවිතා වේ.
සේරුවාවිල ප්‍රදේශය
මූලාශ්‍ර ගත තොරතුරු අනුව මෙම ප්‍රදේශයේ පිහිටා ඇති සේරුවිල නම් විල (වර්තමාන අල්ලායි ජලාශය ලෙස දැක්වේ) නිසා සේරුවාවිල නම ලැබී තිබේ.මෙම විලට නිතර සේරු නම් පක්ෂීන් විශාල ප්‍රමාණයක් පැමිණි බැවින් එසේ නිර්මාණය වූ බවට මතයක් පවතී.
ඊට අමතරව සේරුවාවිල ආශ්‍රිතව විශාල විහාරය විහාර ගණනක් පවති අතර (කොට්ටියාරම් පත්තුවට අයත් ප්‍රදේශයකි-කොට්ටියාරම් යනු කෝටියක් ආරාම පැවති බවට අදහසක් දෙන වදනකි) ඈත අතීතයේ මේ ආශ්‍රිතව විශාල භික්ෂු පිරිසක් විසූ බවට තොරතුරු වේ.විශේෂයෙන්ම මේ ආශ්‍රිතව තිබෙන සේරුවාවිල මංගල රජ මහා විහාරය(තිස්සමහාවිහාරය) සහ වර්තමානයේ සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය ලෙස හදුන්වන පැරණි සෝමාවතී විහාරය නිසා ඒ ආශ්‍රිතවම විශාල සඝ පිරිසක් විසූ බවට තොරතුරු තිබේ.නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා පැන් පහසු වීමට මෙම විලට පැමිණි බවත් ඒ අරුතින් "සිවුරු ආ විල" සේරුවාවිල වූ බවට මතයක් ද පවතී.අදට සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය මෙම විලට පසෙකින් පිහිටා තිබේ.
රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර්ට අනුව සේරුවිල ප්‍රදේශය මහවැලි ගඟේ ගංවතුර ජලය එක්රැස් වූ විශාල වගුරු බිමක් හෝ විල්ලුවක් විය. මෙම විල්ලුව සංක්‍රමණික කාලවලදී විශාල තේල් (සේරු) රැළගේ නිවහන විය. එම ස්ථානය සේරුවාවිල ලෙස හඳුන්වනු ලැබුවේ එසේ විය හැකි බව විද්වතෙක් ලෙස එතුමාගේ මතයකි.
මීට අමතරව සේරුවාවිල ආශ්‍රිතව තිබූ කිලවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය සේරුවිල මංගල රජ මහා විහාරයට අයත් ව තිබූ දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ වූ බවට විද්වතුන් විශ්වාස කරයි.වර්තමානයේ ඒ බෝධීන් වහන්සේ දක්නට නොලැබෙන අතර 1970 දශකයේ හින්දු භක්තිකයන් විසින් බෝධීන් වහන්සේ අපවත්කර ඒ ස්ථානය මත කෝවිලක් ඉදිකර ඇත.
යුනෙස්කෝ ලෝක උරුම පොරොත්තු ලේඛනය
සේරුවිල මංගල රජ මහා විහාරයේ පවතින ඓතිහාසික හා පුරවිද්‍යාත්මක වටිනාකම සලකා එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම උදෙසා වන ඉල්ලීම් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු සම්පාදනය කළ අතර වර්ෂ 2006 දී එය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකාවේ ලෝක උරුම පොරොත්තු ලේඛනය(tentative list) වෙත ඇතුලත් කරනු ලැබීය.
සවිස්තරාත්මක සටහන්
- සේරුවිල විහාරය තවමත් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවේ.එය ඇතුලත් වී ඇත්තේ ලෝක උරුමයක් වීම සදහා අවශ්‍ය නිර්ණායක සලකා බලනු ලබන යුනෙස්කෝ ලෝක උරුම පොරොත්තු ලේඛනය වෙත පමණකි.
වෙනත් ලිපි
මූලාශ්‍ර
- "Seruwila". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 29 March 2016.
- "Seruwila Mangala Raja Maha Vihara". UNESCO. සම්ප්‍රවේශය 2011-09-03.
- සෙනෙවිරත්න, තිලක් (10 අගෝස්තු 2017). "ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය". විජය. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2025.
- "ඓතිහාසික සේරුවාවිල රජමහා විහාරය". Roar Media. 29 නොවැම්බර් 2017. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2025.
- http://amazinglanka.com/wp/seruwila/
- ලියනගෙදර, නදුන් (10 පෙබරවාරි 2021). "සේරුවාවිල මහසෑය ගැන ඉතිහාසයෙන් තොරතුරු බිඳක්". Roar Media. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2025.
- https://www.budusarana.lk/budusarana/2011/08/13/tmp.asp?ID=temp01
- https://mahamegha.lk/2015/08/02/seruwawila/
- https://amazinglanka.com/wp/nelumgama-wilgamvehera/
- Seeing Ceylon by R. L. Brohier
- "Seruwila Mangala Raja Maha Vihara". UNESCO World Heritage Centre. 11 May 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 August 2022.
වැඩිදුර කියවීම
- ඓතිහාසික සේරුවිල (ඉංග්‍රීසි: Historic Seruwila): ප්‍රකාශයට පත් නොකළ M.A. නිබන්ධනයක් P.D. රත්නසිරි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි විභාගයට ඉදිරිපත් කළේ ය. 2002 මැයි මාසයේ දී ඉදිරිපත් කරන ලදී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේරුවාවිල මංගල රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, සේරුවාවිල මංගල රජ මහා විහාරය යනු කුමක්ද? සේරුවාවිල මංගල රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?