පතහ පොකුණ

පතහ පොකුණ යනු ශ්‍රී ලංකාවේ උඩුගම්පල පිහිටි ස්නානය පිණිස භාවිත කල පැරණි පොකුණක් වේ. එය උඩුගම්පල වටරවුම මංසන්ධියේ සිට කිලෝමීටර භාගයක් පමණ දුරින් සහ පුරාණ විහාරයක් වූ උත්තරාරාම රජ මහා විහාරයට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී මෙම පැරණි පොකුණ, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2005 වර්ෂයේ ජූලි 8වන දිනදී රජයේ ගැසට් අංක 1401 යටතේ සිදුකොට තිබේ.

පතහ පොකුණ, ශ්‍රී ලංකාව
ස්ථානයඋඩුගම්පළ, ශ්‍රී ලංකාව
Coordinates7°07′48.2″N 79°59′03.6″E / 7.130056°N 79.984333°E / 7.130056; 79.984333
වර්ගයනාන පොකුණ
Designationආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 ජූලි 2005)
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය2,397.362947 m2 (25,805.0 sq ft)

ඉතිහාසය

රාජාවලිය සහ අලකේෂ්වර යුද්ධය වැනි ඉතිහාසමය ග්‍රන්ථයන්හී දැක්වෙන තොරතුරු අනූව, උඩුගම්පල සහ එහි අවට ප්‍රදේශය කෝට්ටේ රාජධානි සමයේදී උප රාජධානියක් ලෙස පාලනය වී ඇත.අටවන පරාක්‍රමබාහු රජුගේ පුතුන් තිදෙනාගෙන් වැඩිමහල් පුත්‍රයා වූ නවවන පරාක්‍රමබාහු රජ කෝට්ටේ රාජධානිය පාලනය කල අතරවාරයේ, ඔහුගේ සහෝදරයෙකු වූ සකල කලා වල්ලභ ප්‍රාදේශීය උපරාජයෙකු වශයෙන් උඩුගම්පල ප්‍රදේශය පාලනය කොට ඇත. ප්‍රදේශයෙහි හමුව ඇති පුරාවිද්‍යා සාධක අනූව වර්තමානයෙහි උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාරය පිහිටා තිබෙන මාළිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන ස්ථානය, සකල කලා වල්ලභ රජුගේ මාළිගාව පිහිටි ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන අතර ඊට ආසන්නව පිහිටි පතහ රජු දිය නෑම පිණිස භාවිත කල පොකුණ ලෙස සැලකෙයි.

ජනප්‍රවාද

පතහ පොකුණෙහි තිබී හමුවූ දැවමය උලක්. වර්තමානයේදී මෙම ස්මාරක වස්තුව උඩුගම්පල ප්‍රාදේශීය සභා භූමියෙහි තැම්පත් කොට තිබේ

සකල කලා වල්ලභ රජු කොට්ටේ සමයේ අතිදක්ෂ රණකාමියෙකු ලෙස හදුනාගැනේ. ප්‍රාදේශීය වැසියා අතර ජනප්‍රිය රජෙකු වීම හේතුවෙන් සකල කලා වල්ලභ රජුගේ රාජ්‍ය සමය සහ රාජ්‍ය සංක්‍රාන්තිය ඉතා දිගුවිය. මෙය නොරිස්සූ ඔහුගේ පුතුන් හත්දෙනාගෙන් දෙදෙනකු වූ, කලු කුමාර බණ්ඩාර සහ වීරමුණ්ඩ යන දෙදෙනා පිය රජු මැරවීම උදෙසා උපාය සකස් කොට ලෝහමය තුඩු සහිත දැවමය උල් ප්‍රමාණයක් රජු ස්නානය කිරීමට පුරුදුව සිටි පතහ පොකුණෙහි ජලය තුල සවිකරන ලදී. කෙසේනමුදු රජු ස්නානය කිරීමට පැමිණි අවස්ථාවෙහි, ජලයට පැනීමට පෙරාතුව ඉගිලෙන කෘමියෙකු ජල මතුපිටෙහි වසා සිටිනු දැක ඒ සම්බන්ධව සැක සිතී සොයාබලන ලදී. මෙම කුමන්ත්‍රණය සමබන්ධ කරුණු අවබෝධ කර ගත් රජු සිය පුතුන් මැරීමට අණ නිකුත් කරන ලදී. මෙම අවස්ථාවේදී කලු කුමාර බණ්ඩාර ශ්‍රී පාදය ප්‍රදේශයට පැන ගොස් එහිදී සිය දිවි නසා ගනිමින් "කලු කුමාර" දේවතාවා බවට පත්වූ බැව් ජනප්‍රවාදයෙහි සදහන්ය.

පොකුණ

උඩුගම්පළ පිහිටි පතහ ආසියාවෙහි හමුවන විශාලතම දිය නාන පොකුණක් වශයෙන් සැළකේ. ඉංග්‍රීීසි භාෂාවෙහි "L" අක්ෂරය හැඩයට නිමවා ඇති පොකුණ උඩුගම්පළ රාජධානියට අයත් විශිෂ්ඨ නිර්මාණයක් සේ පිළිගැනේ. වර්ග අඩි 25,805 වපසරියක පැතිර පවතින පොකුණෙහි ඉවුරු බිත්ති කබොක් ගලින් මනාව නිමවා තිබේ. පොකුණෙහි පතුලේ සිට ඉහළට කෙටි පැන්නුම් සහිතව පිටට නෙරා යන අයුරින් තනා ඇති ඉවුරු ඉදිකිරීමට යොදා ඇති කබොක් ගල් දිග පළල අනූව විවිධ ප්‍රමාණයෙන් යුක්තය. පොකුණෙහි දකුණු හා නැගෙනහිර ඉවුරු ආශ්‍රිතව කබොක් ගල් කුට්ටි භාවිතා කොට විධිමත් බැමි ඉදිකර පවතින අතර මීටර 122ක් පමණ උතුරු දකුණු දිශානුගතව විහිදෙන ඉවුර ඉදිකිරීමට කබොක් ගල් භාවිත කොට නොමැත.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ආරියරත්න, එල්. ඩබ්. (6 ඔක්තෝම්බර් 2012). "රිවයිවල් ඔෆ් කෝට්ටේ පීරියඩ්: 'පතහ පොකුණ'". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 30 ජූනි 2017.
  2. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  3. විජේසූරිය, දිනිති (2015). "ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියෝලොජිකල් ලෙගසි". කැළණිය විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 30 ජූනි 2017.
  4. "දි ඇනුවල් නානුමුර මංගල්‍යය ඔෆ් ද තනිවැල්ල දේවාලය ටුඩේ". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 30 ජූනි 2017.
  5. "කල්චරල් බැක්ග්‍රව්න්ඩ් ඔෆ් මිනුවන්ගොඩ ඩිවිෂන්". මිනුවන්ගොඩ නගර සභාව. සම්ප්‍රවේශය 30 ජූනි 2017.
  6. "සකලකලා වල්ලභ රජුගේ රාජධානිය". ලංකාදීප (පුවත්පත). 17 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 5 ජූලි 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පතහ පොකුණ පිළිබඳ තොරතුරු, පතහ පොකුණ යනු කුමක්ද? පතහ පොකුණ යනු කුමක් දර්ශනය කරන්නේ?