අලිමංකඩ

අලිමංකඩ
අලිමංකඩ පිහිටීම
විද්‍යාත්මක වර්ගීකරණය

යාපනයට පිවිසෙන ද්වාරය ලෙස හැඳින්වෙන අලිමංකඩ, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් භූමි ප්‍රදේශයකි. මෙම භූමි කලාපය, භූගෝලීය වශයෙන් වැදගත් වන අතර, එය සියවස් ගණනාවක් පුරා යුදමය සහ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. අලිමංකඩ යනු හුදෙක් සටන් බිමක් පමණක් නොවේ; එය ඉතිහාසය, ආර්ථික පුනරුත්ථාපනය සහ පරිසර සංරක්ෂණය යන අංශවලට අයත් වැදගත් ස්ථානයකි. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර එහි ඇති වූ දරුණු සටන් හේතුවෙන් අලිමංකඩ දේශීය හා ජාත්‍යන්තර අවධානයට ලක් විය. විවිධ කාල පරිච්ඡේද වලදී පෘතුගීසීන්, ලන්දේසීන්, බ්‍රිතාන්‍යයන්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව වැනි විවිධ බලවේග මෙම ප්‍රදේශයේ බලය තහවුරු කිරීමට උත්සාහ කළ අතර, එය එහි උපායමාර්ගික වැදගත්කම මනාව ප්‍රකට කරයි.

නාමය

'අලිමංකඩ' යන නාමය සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ බසින් ද ('ஆனையிறவு' - Āṉaiyiṟavu) ඍජුවම 'අලි යන මාවත' හෝ 'අලි ගමන් කළ මාර්ගය' ලෙස පරිවර්තනය වේ. මෙම නම හටගැනීමට හේතුව, පුරාණ කාලයේ වන්නි ප්‍රදේශයේ සිටි අලි, යාපනය අර්ධද්වීපයට මෙම මාර්ගය ඔස්සේ ගෙන ගිය බවට විශ්වාසයක් පැවතීමයි. විශේෂයෙන් ලන්දේසි පාලන සමයේදී අලින් අල්ලාගෙන යාපනයට රැගෙනවිත් වාර්ෂිකව විකිණීමට කටයුතු කර ඇත.

භූගෝලීය, යුදමය සහ ආර්ථිකමය වැදගත්කම

අලිමංකඩ යනු යාපනය අර්ධද්වීපය ප්‍රධාන භූමියට සම්බන්ධ කරන භූමි තීරුවකි. එය යාපනයට පිවිසීම සඳහා ඇති එකම ස්වාභාවික ගොඩබිම් මාර්ගය ලෙස ක්‍රියා කරයි. මෙම භූගෝලීය පිහිටීම නිසා අලිමංකඩ යුදමය වශයෙන් අත්‍යවශ්‍ය ස්ථානයක් බවට පත්ව ඇත. යාපනයේ පිහිටි ප්‍රධාන නගරයක් වන චාවකච්චේරි, ප්‍රධාන භූමියට සම්බන්ධ කරන්නේ ද අලිමංකඩ හරහාය.

සියවස් ගණනාවක් පුරා මෙම ප්‍රදේශය, විවිධ බලවේග සඳහා ර්මස්ථානයක් වී ඇත. අලිමංකඩ හරහා දිවෙන A9 ප්‍රධාන මාර්ගය, දකුණ යාපනයට සම්බන්ධ කරන ප්‍රධානම මාර්ගය වේ. මෙම මාර්ගය හුදෙක් ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එය හමුදාමය, ආර්ථිකමය සහ සංකේතාත්මක වැදගත්කමක් ද දරයි. සිවිල් යුද්ධය අතරතුර, LTTE ය මෙම මාර්ගය පාලනය කරමින් ජනතාවගෙන් මුදල් අය කර ඇත. 2009 වසරේදී අලිමංකඩ මුදාගැනීමත් සමඟ, වසර 23කට පසුව A9 මාර්ගය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයට නතු විය. මෙය හමුදාමය ජයග්‍රහණයක් පමණක් නොව, උතුර සහ දකුණ අතර ඒකීයත්වය යළි තහවුරු කිරීමක් ලෙස ද සැලකේ.

ඓතිහාසිකමය පසුබිම

යටත් විජිත බලකොටු

අලිමංකඩ යනු සියවස් ගණනාවක් පුරා බලය සහ පාලනය සඳහා වැදගත් ස්ථානයක් විය. 1760 දී පෘතුගීසීන් විසින් මෙම ප්‍රදේශයේ බලකොටුවක් කළේ ය. 1776 දී ලන්දේසීන් විසින් මෙම බලකොටුව යටත් කරගෙන, එය බලඇණියක් යොදා පාලනය කරන ලදී. ලන්දේසි බලකොටුව කළුගල්වලින් තැනූ කුඩා මුරපොළක් විය. එයට කොත දෙකක් තිබූ අතර, එක් එක් කොතෙහි කාලතුවක්කු හතරක් සවිකර තිබුණි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම බලකොටුව විවේකගාරයක් ලෙස යොදාගෙන ඇති අතර, සිවිල් යුද්ධය අතරතුර එය විනාශ විය.

නූතන හමුදා කඳවුරැ

ශ්‍රී ලංකා යුද හමුදාව 1952 දී අලිමංකඩෙහි නව හමුදා කඳවුරක් ඉදිකළේය. කාලයත් සමඟ මෙම කඳවුර සහ එහි උප කඳවුරු පුළුල් වූ අතර, එය කිලෝමීටර 23ක දිගකින් සහ කිලෝමීටර 8ක පළලකින් යුත් විශාල ප්‍රදේශයක් ආවරණය කළේය. අලිමංකඩ පිහිටා ඇති භූමි ප්‍රදේශය යාපනය අර්ධද්වීපයට ඇති එකම ගොඩබිම් පිවිසුම වීම, එහි හමුදාමය වැදගත්කම සියවස් ගණනාවක් පුරා නොවෙනස්ව පවත්වා ගැනීමට හේතුව වී ඇත.

යුදමය ඉතිහාසය (ශ්‍රී ලංකා සිවිල් යුද්ධය)

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර, අලිමංකඩ දරුණු සටන් ගණනාවක කේන්ද්‍රස්ථානය බවට පත් විය. මෙම සටන්, ගැටුමේ ගමන් මගට තීරණාත්මක බලපෑමක් ඇති කළේය.

පළමු අලිමංකඩ සටන (1991)

1991 ජූලි 10 වැනිදා LTTE ය විසින් අලිමංකඩ හමුදා කඳවුර වටලනු ලැබීය. එවකට එය සිවිල් යුද්ධයේ දරුණුතම සටන ලෙස හැඳින්විණි. සටන දින 24ක් පැවති අතර, ශ්‍රී ලංකා හමුදාව විසින් මෙහෙයුම් දියත් කර කඳවුර මුදා ගැනීමට සමත් විය. මෙම සටන LTTE යට විශාල පාඩුවක් විය. හමුදා ආරංචි මාර්ගවලට අනුව සටන්කරුවන් 950ක් පමණ මිය ගොස් ඇත.

දෙවන අලිමංකඩ සටන (2000)

2000 අප්‍රේල් මාසයේදී සිදු වූ දෙවන අලිමංකඩ සටන LTTE යට විශිෂ්ට ජයග්‍රහණයක් විය. LTTE නායක ප්‍රභාකරන් විසින් හමුදා කඳවුරට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවට කඳවුර වටලමින්, සැපයුම් මාර්ග කපා හරිමින් සෙබළුන් දුර්වල කිරීමේ උපායමාර්ගයක් අනුගමනය කළේය. මෙහෙයුම අතරතුර, LTTE ය විසින් ප්‍රබල කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරමින් යාපනයට ජලය සැපයූ එකම මූලාශ්‍රය වූ අයියකච්චි කඳවුර අත්පත් කර ගන්නා ලදී. මේ හේතුවෙන් කඳවුර තුළ සිටි හමුදා භටයන්ට ජලය නොමැතිව පසුබැසීමට සිදු විය. 2000 අප්‍රේල් 22 වන දින අලිමංකඩ කඳවුර LTTE ය අතට පත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා හමුදාවට දැවැන්ත පරාජයක් වූ අතර, LTTE යට විශාල යුද ආයුධ තොගයක් අත්පත් කර ගැනීමට ඉඩ සැලසුණි.

තුන්වන අලිමංකඩ සටන (2009)

සිවිල් යුද්ධයේ අවසාන භාගයේ, ශ්‍රී ලංකා හමුදාව විසින් අලිමංකඩ නැවත අත්පත් කර ගන්නා ලදී. මෙම මෙහෙයුම 2009 ජනවාරි 9 වන දින සිදු වූ අතර, එය ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම සටන කිලිනොච්චිය අල්ලා ගැනීමෙන් පසුව සිදු කරන ලද ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයකි.


ගැටුම්වලදී මියගිය ජීවිත සිහිපත් කිරීම සඳහා අලිමංකඩ යුද ස්මාරකයක් ද ස්ථාපිත කර ඇත.

සිවිල් යුද්ධයෙන් පසු සංවර්ධනය

අලිමංකඩ ලුණු නිධි

අලිමංකඩ ප්‍රදේශය හමුදාමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද වැදගත්කමක් දරයි. සිවිල් යුද්ධයට පෙර, මෙම ප්‍රදේශය දිවයිනේ විශාලතම ලුණු නිධිය විය. මෙහි වාර්ෂිකව මෙට්‍රික් ටොන් 60,000–80,000 අතර ලුණු ප්‍රමාණයක් නිපදවූ අතර, එය රටේ මුළු ලුණු අවශ්‍යතාවයෙන් 30%–40%ක් සපයන ලදී. යුද්ධය හේතුවෙන් 1990 දී ලුණු නිෂ්පාදන කටයුතු නතර විය.

යුද්ධයෙන් පසු රජය මෙම ලුණු නිධිය නැවත සක්‍රිය කිරීමට උනන්දු විය. පළමු අදියර යටතේ අක්කර 330ක් ආවරණය වන පරිදි වාර්ෂිකව මෙට්‍රික් ටොන් 20,000–25,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන ලදී. දෙවන අදියරේදී අක්කර 447ක් සංවර්ධනය කිරීමට නියමිත අතර, තවත් මෙට්‍රික් ටොන් 30,000ක් එකතු කිරීමට අපේක්ෂා කෙරේ. සම්පූර්ණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසු වාර්ෂික ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000 සිට 100,000 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇත.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය මුලින්ම ප්‍රාදේශීය ආයෝජකයන්ගෙන් අදහස් ලබා ගැනීමට පියවර ගත් නමුත්, එම උත්සාහයන් සාර්ථක නොවීය. මේ හේතුවෙන් 2025 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් 'කුරුංචතිව් (අලිමංකඩ-උතුර) ලුණු නිධිය' යළි ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කිරීමට තීරණය කළේය.

කාල සීමාව තත්ත්වය වාර්ෂික නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්)
සිවිල් යුද්ධයට පෙර (1990ට පෙර) ක්‍රියාකාරී 60,000–80,000
සිවිල් යුද්ධය අතරතුර ක්‍රියාකාරකම් නතර කරන ලදී. -
පළමු අදියර (අක්කර 330) නැවත සක්‍රිය කරන ලදී 20,000–25,000
දෙවන අදියර (අක්කර 447) නැවත සක්‍රිය කරන ලදී 50,000–55,000
සම්පූර්ණ සංවර්ධනයෙන් පසු අපේක්ෂිත 70,000–100,000

යටිතල පහසුකම්හි දියුණුව

අලිමංකඩ යනු A9 මාර්ගය සහ දුම්රිය මාර්ගය හරහා ප්‍රවාහන සේවා සඳහා ප්‍රධාන ස්ථානයකි. යුද්ධයෙන් පසුව, අලිමංකඩ දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා විය.

පාරිසරික සහ සංස්කෘතික වැදගත්කම

කුරුළු අභයභූමිය

අලිමංකඩ අවට කලපු සහ වෙරළාසන්න පරිසර පද්ධතිවල විවිධ පක්ෂීන් සහ වනජීවීන් වාසය කරයි. මෙම ප්‍රදේශය කුරුල්ලන් නැරඹීම සඳහා හොඳ ස්ථානයක් ලෙස සැලකේ. අලිමංකඩ කලපුව ලෙස හැඳින්වෙන චුන්ඩිකුලම් කලපුව , 1938 පෙබරවාරි 25 වන දින සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කුරුළු අභයභූමියක් ලෙස නම් කරන ලදී. 2015 ජූනි 22 වන දින චුන්ඩිකුලම් අභයභූමිය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී. මෙම ප්‍රදේශයේ විවිධ දිය කුරුල්ලන් සහ වේඩර් කුරුල්ලන් විශේෂ දක්නට ලැබේ.

සාහිත්‍යමය සදහන් කිරීම්

අලිමංකඩ ඉන්දියානු කතුවරයෙකු වන කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ ජනප්‍රිය දෙමළ නවකතාවක් වන පොන්නියින් සෙල්වන් හි සඳහන් කර ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලිමංකඩ පිළිබඳ තොරතුරු, අලිමංකඩ යනු කුමක්ද? අලිමංකඩ යනු කුමක් දර්ශනය කරන්නේ?