නෙෆර්නෙෆරුරේ

නෙෆර්නෙෆරුරේ (ක්‍රි.පූ. 14වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ 18වන රාජවංශයේ විසූ පුරාතන ඊජිප්තු කුමරියකි. ඇය පාරාවෝ අක්නාටන් සහ මහා රාජකීය බිරිඳ නෙෆර්ටිටිගේ හඳුනාගත් දියණියන් සයදෙනාගෙන් පස්වැන්නියයි.

නෙෆර්නෙෆරුරේ රූපාක්ෂර වලින්

නෙෆර්නෙෆරුරේ
Nfr nfrw Rꜥ
රේගේ වඩාත් රූමත් තැනැත්තිය
පාරාවෝ අක්නාටන් සහ නෙෆර්ටිටි රැජිනගේ දියණිය
නෙෆර්නෙෆරුරේ (වමේ) සිය වැඩිමහල් සොයුරිය වූ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් සමග; අමර්ණහි රජුගේ මාලිගයේ බිතු සිතුවමකි.

පවුල

නෙෆර්නෙෆරුරේ (ඇගේ නාමයේ අරුත "රේගේ රූමතියන් අතර රූමතිය" හෝ "රේගේ වඩාත් රූමත් තැනැත්තිය") උපත ලැබූයේ ඇගේ පියා වූ අක්නාටන්ගේ 8වන රාජ්‍ය වර්ෂයේ හෝ ඊට පෙර අක්ටාටන් නගරයේ ය. ඇයට මෙරිටාටන්, මෙකෙටාටන්, අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් නැමැති වැඩිමහල් සොයුරියන් සිව්දෙනකු ද, සෙටෙපෙන්රේ නැමැති බාල සොහොයුරියක ද විය.

දිවිය

නෙෆර්නෙෆරුරේ පිළිබඳ පැරණිතම නිරූපණයක් අමර්ණහි රාජ මාලිගයේ බිතු සිතුවමකින් ලැබේ. මෙහි ඇය ඇගේ සොයුරිය වන නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් සමග කොට්ටයන අසුන් ගෙන සිටියි. මෙම බිතු සිතුවම අක්නාටන්ගේ 9වන රාජ්‍ය වර්ෂයට පමණ අයත් යැයි කාලනිර්ණය කෙරේ. එහි සම්පූර්ණ රාජකීය පවුලම නිරූපිත අතර, සෙටෙපෙන්රේ බිළිඳිය ද එහි දක්නට ලැබේ.

රාජකීය ගෘහයේ ආරක්ෂකයා වූ IIවන මෙරිරේගේ අමර්ණ සොහොන්ගැබේ වර්ෂය 12ට අයත් දර්ශනයක නෙෆර්නෙෆරුරේ නිරූපිත ය. අක්නාටන් සහ නෙෆර්ටිටි කුටියක් තුළ අසුන්ගෙන සිටින අතර, ඔවුන් විදේශ රාජ්‍යයන්ගෙන් ලැබෙන පඬුරු පිළිගන්නා අයුරු දක්නට හැක. රාජකීය යුවළගේ දියණියන් සිය දෙමාපියන්ට පසුපසින් සිටගෙන සිටිති. එහි පහළ පේළියේ මැද නෙෆර්නෙෆරුරේ නිරූපිත ය. ඇය සිය දකුණතින් ගැසෙල් මුවකු ද, වමතින් නෙළුම් මලක් ද දරා සිටියි. ඇය සිය සොයුරිය වන නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් හට පිටුපසින් සිටගෙන සිටියි. ඇගේ නැගණිය වූ සෙටෙපෙන්රේ ඇයට පිටුපසින් සිටගෙන සිටින අතර, ඇය සිය අත සුරතල් ගැසෙල් මුවා දෙසට යොමු කරනු නිරූපිත ය.

මරණය සහ භූමදානය

නෙෆර්නෙෆරුරේ 13වන හෝ 14වන වරාජ්‍ය වර්ෂයේ මියගොස් ඇති බව පෙනේ. බොහෝවිට මෙකල ඊජිප්තුව පුරා ව්‍යාප්ත වූ වසංගතය එයට හේතු වන්නට ඇත. අමර්ණහි රාජකීය සොහොන්ගැබේ එක් දර්ශනයක ඇය දක්නට නොලැබෙන අතර, තවත් එක් දසුනක ඇගේ නාමය බදාමවලින් වසා ඇත. විශේෂයෙන්ම රාජකීය සොහොන්ගැබේ කුටියේ C බිත්තියේ කුමරියන් පස්දෙනාගේ නම් අතර (මෙම ලැයිස්තුවේ මේ කාලය අවට මියගියේ යැයි සැලකෙන සෙටෙපෙන්රේගේ නාමය ඇතුළත් කොට නැත) ඇගේ නාමය සටහන් කර තිබිණි. නමුත් පසුව එය බදාමයකින් වසා දමා ඇත. කුටියේ B බිත්තියේ ඇගේ දෙමාපියන් සහ ඇගේ වැඩිමහල් සොයුරියන් තිදෙනකු වන මෙරිටාටන්, අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් යන අය මියගිය දෙවන කුමරිය වූ මෙකෙටාටන් වෙනුවෙන් ශෝකවනු නිරූපිත ය. නමුත් මෙහි ‍නෙෆර්නෙෆරුරේගේ ‍රුව දක්නට නැත. මේ නිසා යෝජනා වී ඇත්තේ මෙම කුටියේ බිත්ති සරසා අවසන් වීමට ප්‍රථම ඇය මියගිය බවයි. නෙෆර්නෙෆරුරේගේ දේහය රාජකීය සොහොන්ගැබේ කුටියේ මුලින් භූමදානය කෙරුණා විය හැක.

විකල්ප මතයක් අනුව කියැවෙන්නේ ඇය අමර්ණහි 29වන සොහොන්ගැබේ භූමදානය කෙරුණු බවයි. මෙම මතයට පාදක වී ඇත්තේ නෙෆර්නෙෆරුරේගේ ඇතුළු (භූමදාන) කුටීරයක් පිළිබඳ විස්තර වන ඇම්ෆෝරා බුජමක අඬුවකිනි. නෙෆර්නෙෆරුරේ 29වන සොහොන්ගැබේ භූමදාන කෙරුණේ නම්, එමගින් හැඟවෙන්නේ ඇගේ භූමදානය සිදුවන විට රාජකීය සොහොන්ගැබ මුද්‍රා තැබුණු බවත්, එනම් ඇය ඇගේ පියා වූ අක්නාටන්ගේ මරණින් පසු මියගිය බවත් ය.

නෙෆර්නෙෆරුරේ පිළිබඳ සඳහන් සෙසු වස්තූන්

ටූටන්ඛාමූන්ගේ නිධන් වස්තූන් අතර තිබී ඇගේ රුව නිරූපිත පියනක් සහිත කුඩා මංජුසාවක් (JdE 61498) හමු විය. මෙහි කුමරිය නැමී සිටින අතර, කුඩා දරුවන් නිරූපණය කරන අයුරින් ඇගේ ඇඟිල්ල මුව අසල තබා ඇත. මෙහි ඇති විශේෂත්වය නම්, මෙම මංජුසා පියනේ ඇගේ නාමයේ ඇති රේගේ නාමයේ කොටස සාමාන්‍ය රවුම් කළ තිත වෙනුවට ශබ්දානුසාරයෙන් ලියා තිබීමයි.

මූලාශ්‍ර

  1. ටිල්ඩෙස්ලි, ජොයිස්; නෙෆර්ටිටි: ඊජිප්ට්'ස් සන් ක්වීන්. පෙන්ගුයින්. 1998. ISBN 0-670-86998-8
  2. ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  3. මර්නේන්, විලියම් ජේ., ටෙක්ස්ට්ස් ෆ්‍රොම් ද අමර්ණ පීරියඩ් ඉන් ඊජිප්ට්, බයිබලීය සාහිත්‍ය සමාජය, 1995 ISBN 1-55540-966-0
  4. රීවස්, නිකොලස්; අක්නාටන්: ඊජිප්ට්'ස් ෆෝල්ස් ප්‍රොෆට්; තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2005. ISBN 0-500-28552-7
  5. ඇල්ඩ්‍රඩ්, සිරිල්; අක්නාටන්: කිං ඔ‍ෆ් ඊජිප්ට්; තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1991 (කඩදාසි බැම්ම සහිත), ISBN 0-500-27621-8
  6. ටී. ජී. එච්. ජේම්ස්; ටූටන්ඛාමූන්; වයිට් ස්ටාර්, 2000 (බාර්නස් ඇන්ඩ් නෝබල් බුක්ස් 2002), ISBN 1-58663-742-8
  • ක්‍රිස්ටියේන් ඩෙස්රොචස්-නෝබල්කෝට්: Tutankhamen – Life and Death of a Pharaoh

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙෆර්නෙෆරුරේ පිළිබඳ තොරතුරු, නෙෆර්නෙෆරුරේ යනු කුමක්ද? නෙෆර්නෙෆරුරේ යනු කුමක් දර්ශනය කරන්නේ?