නෝගුක් රැජින

නෝගුක් රැජින (?- 16 පෙබරවාරි 1365) හෙවත් ඉන්දොක් රැජින යනුවෙන් හැඳින්වෙන්නේ පසු කලෙ‍ක කොරියාවේ අගබිසව බවට පත් වූ මොංගෝලියානු කුමරියකි. ඇය ගොර්යෝ කුමාරවරුන් සමග විවාහ වීමේ යුවාන් රාජවංශයේ සම්ප්‍රදාය අනුව ගොර්යෝ රජ පෙළතට ඇතුළු වූ තැනැත්තියකි. ඇගේ මොංගෝලියානු නාමය බොර්ජිගින් බුදශිරි (孛兒只斤 寶塔實里) යන්නයි.

නෝගුක් රැජින
කොරියානු නම
හංගුල්노국대장공주
හන්ජා魯國大長公主
ප්‍රතිශෝධිත රෝමානුකරණයනෝගුක් දේජං ගොංජු
මැකූන්–‍රයිෂවර්නෝකුක් තේචං කෝංචු
මරණාපර නාමය
හංගුල්인덕왕후
හන්ජා仁德王后
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉන්දොක් වංහු
මැකූන්–‍රයිෂවර්ඉන්තෝක් වංහු
කොරියානු පෞද්ගලික නම
හංගුල්왕가진
හන්ජා王佳珍
ප්‍රතිශෝධිත රෝමානුකරණයවං ගාජින්
මැකූන්–‍රයිෂවර්වං කාජින්

මුල්කාලීන දිවිය

නෝගුක් රැජින බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥, ?-1324) ගේ එකම පුත්‍රයා වූ බයිර් තෙමූර් (孛羅帖木兒) ගේ දියණියයි. බොර්ජිගින් අමූගේ යනු කුබ්ලායි ඛාන්ගේ දෙවන පුත්‍රයා වූ බොර්ජිගින් චින්කිම් (孛兒只斤真金, 1243-ජනවාරි 05, 1286) ගේ දෙවන පුත්‍ බොර්ජිගින් දර්මබාලා (孛兒只斤答剌麻八剌, 1264–1292) ගේ වැඩිමහල් පුත්‍රයායි. එසේම නෝගුක් රැජින බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥) ගේ එකම දියණිය වූ ජෝගුක් කුමරිය (조국장공주, 1308-ඔක්තෝබර් 20, 1325) ගේ ලේලිය ද වූවා ය.

විවාහය සහ මරණය

නෝගුක් රැජින, ප්‍රතිසංස්කරණවාදී ගොර්යෝ පාලකයකු වූ ගොංමින් රජුගේ අගබිසව වූවා ය. ඇය මොංගෝලියානු කුමරියක වුව ද, නෝගුක් රැජින සැමවිටම ගොර්යෝවට සහ ඇගේ සැමියාට සහාය දැක්වූවා ය. 1349දී ගොංමින් රජු විසින් ඇයව විවාහ කරගැනුණේ මුල් යුවාන් මනාලිය ස්‍යුංග්‍යුයි කුමරිය (승의공주) නැවත පැමිණි විගසයි.

ගොංමින් රජු සහ නෝගුක් රැජින අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවක් පැවතිය ද, ඔවුනට දරුවන් සිටියේ නැත. දෙවන බිරිඳක් රැගෙන එන මෙන් යෝජනා ඉදිරිපත් වුවත් රජු ඒවා ප්‍රතික්ෂේප කළේ ය. විවාහ මංගල්‍යයෙන් වසර පහළොවකට පසු නෝගුක් රැජින ගැබ් ගත් නමුත්, දරු උපත සඳහා අදාළ වූ සංකූලතා හේතුවෙන් 1365දී ඇය මරණයට පත් විය. ඇයව මරණාපරව ඉන්දොක් අගබිසව ලෙස හැඳින්විණි.

ඇගේ මරණයෙන් පසු දැඩි මානසික පසුබෑමකට ලක් වූ ගොංමින් රජුට දේශපාලනය කෙරෙහි එතරම් උනන්දුවක් ඇති නොවී ය. රජු වැදගත් දේශපාලන කටයුතු බොහෝමයක් බෞද්ධ භික්ෂුවක වූ ප්යොන්ජෝහට භාරකළේ ය. ‍කුමරියකට සහ වහලකුට දාව උපන් ප්යොන්ජෝගේ දක්ෂතාවන් අගය කළ ගොංමින් රජු, ප්යොන්ජෝගේ නම ෂින් දොන් ලෙස වෙනස් කළේ ය. ගොංමින් රජුගේ පූර්ණ විශ්වාසය ලත් ෂින් දොන් ගොර්යෝ සමාජය ප්‍රතිසංස්කරණයට ලත් කිරීමට උත්සාහ දැරී ය. 1365දී, ගොංමින් රජු විසින් ප්යොන්ජෝහට "චොංහන් ගෝසා" නැමැති පටබැඳි නාමය සහ ජින්ප්යොංහු (චින්ප්යොං වංශාධිපතිතුමා) යන වංශවත් පදවිය පිරිනමන ලදී. නමුත් සය වසරකට පසු, ෂින් දොන්ට සිය තනතුර අහිමි වූ අතර, 1371දී ගොංමින් රජු විසින් ඔහුට දඬුවම් පමුණුවන ලදී.

1374දී චෝයි මන්-සෙං (최만생) ඇතුළු පිරිස විසින් ගොංමින් රජුව ඝාතනය කරන ලදී. තරුණයකු වූ හොං ර්යුන් (홍륜) සහ ගොංමින්ගේ උපබිසවක අතර වූ සම්බන්ධය ගොංමින් රජුට හෙළි වූ අතර එය රජුගේ කෝපයට හේතු විය.‍ ගොංමින් තමන්ව මරාදැමීමට ප්‍රථම, හොං ර්යුන් සහ චෝයි මන්-සෙං එක්ව නින්දේ සිටි ගොංමින් රජුව මරා දැමූහ.

පෙළපත

පූර්වජයින්

නෝගුක් රැජිනහි පවුල
16. බොර්ජිගින් චින්කිම්
孛兒只斤真金
චාබි රැජිනට උපන් කුබ්ලයි ඛාන්ගේ පුත්‍රයෙකි
8. බොර්ජිගින් දර්මබාලා
孛兒只斤答剌麻八剌
17. බයිරාම් යිකෙෂි (කෝකෙජින්)
伯藍也怯赤 (闊闊真)
4. අමූගේ
阿木哥
9. ගුවෝ බිසව
郭妃
2. බයිර් තෙමූර්
孛羅帖木兒
1. බොර්ජිගින් බුධශ්‍රි
孛兒只斤寶塔實里

උරුමය

නෝගුක් රැජින පිළිබඳ ඊළඟ රාජවංශයේ පවා මතකයේ රැඳී තිබූ බව ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා අනුව පැහැදිළි වේ.

නෝගුක් රැජිනගේ චරිතය සියෝ ජි-හ්යේ නැමැති නිළිය විසින් 2005 වර්ෂයේ කොරියාවේ MBC නාළිකාවෙන් විකාශය වූ ෂින් දොන් නැමැති කතාමාලාවේ නිරූපණය කරන ලදී. එසේම ඇගේ චරිතය පාක් සේ-යොං නැමැති නිළිය විසින් 2012 කොරියානු SBS නාළිකාවේ රූපවාහිනී නාට්‍යයක් වූ ෆේත් තුළ ද, බේ මින්-හී විසින් 2012-2013 අතර කාලයේ SBS නාළිකාවෙන් විකාශය කෙරුණු ද ග්‍රේට් සියර් රූපවාහිනී කතාමාලාව තුළ ද නිරූපණය කොට තිබේ.

මේවාත් බලන්න

මූලාශ්‍ර

  1. චෝං-සූ, සුහ්; රෝවන්, බර්නාඩ්; චෝ, යූන්-ජුං, සංස්. (2004). ඇන් එන්සයික්ලොපීඩියා ඔෆ් කොරියන් කල්චර්. හන්සෙබොන්. පි. 84. ISBN 978-8-9951-3524-2.
  2. චුංසුක් රජුගේ පළමු යුවාන් මනාලිය (එසෙන් තෙමූර්ගේ (也先帖木兒) දියණිය මෙන්ම කුබ්ලයි ඛාන්ගේ මිණිපිරිය ද වූ) වූ බුක්ගුක් කුමරිය (복국장공주) 1319දී මියගිය හෙයින් චුංසුක් රජුගේ දෙවන මනාලිය ලෙස ජෝගුක් කුමරිය විවාහ කරගන්නා ලදී.
  3. 1947ට දින නිර්ණිත සටහන, යොන්සන් කුමරුගේ 3වන රාජ්‍ය වර්ෂය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෝගුක් රැජින පිළිබඳ තොරතුරු, නෝගුක් රැජින යනු කුමක්ද? නෝගුක් රැජින යනු කුමක් දර්ශනය කරන්නේ?