ආර්ය අෂ්ඨාංගික මාර්ගය

මුල් පිටුව | ආර්ය අෂ්ඨාංගික මාර්ගය
මෙම ලිපිය හෝ ලිපි කොටස මධ්‍යම ප්‍රතිපදාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

මෙම කොටුව:
  • නරඹන්න
  • සාකච්ඡාව
  • සංස්කරණය


මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු වන ආර්ය සත්‍යය යි.

මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි. එනමුදු ශ්‍රාවකයා නිර්වාණය අවබෝධය සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වන්නේ ශීල,සමාධි,ප්‍රඥා යන කොටස් අනුපිලිවෙලට වේ.

  1. සම්මා දිට්ඨි
  2. සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
  3. සම්මා වාචා
  4. සම්මා කම්මන්ත
  5. සම්මා ආජීව
  6. සම්මා වායාම
  7. සම්මා සති
  8. සම්මා සමාධි

සම්මා වාචා

සම්මා වාචා

ප්‍රධාන ලිපිය: සම්මා වාචා

දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.”
“මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ.

සම්මා කම්මන්ත

ප්‍රධාන ලිපිය: සම්මා කම්මන්ත

"කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය.

සම්මා ආජීව

ප්‍රධාන ලිපිය: සම්මා ආජීව

යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි.

සම්මා වයාම

සම්මා වායාම

ප්‍රධාන ලිපිය: සම්මා වායාම

සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත.

" කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති "

  1. නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය.
  2. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.
  3. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය.
  4. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය.
  • සත් තිස් බෝධි පාක්ෂික ධර්ම(37); එනම්,
    • සතර සතිපට්ඨාන ධර්ම (4)
    • සතර සම්ම ප්‍රධාන විර්යය (4)(සම්මා වායාම යනු මෙයම යි.)
    • සතර ඉද්ධිපාද (4)
    • පංචෙන්ද්‍රිය (5)
    • පංච බල (5)
    • සප්ත බොජ්ඣඬ්ග (7)
    • මග්ගංග (8)

යනාදිය නූපන් කුසල ධර්මයි.

සම්මා සති

ප්‍රධාන ලිපිය: සම්මා සති

සම්මා සතිය යනු යහපත් සිහිය යි. බුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ.

සම්මා සමාධි

ප්‍රධාන ලිපිය: සම්මා සමාධි

සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි.
සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය.

සම්මා දිට්ඨි

සම්මා දිට්ඨි

ප්‍රධාන ලිපිය: සම්මා දිට්ඨි

සම්මා දිට්ඨිය යනු අන්තගාමී නොවන (ඇත යන හෝ නැත යන ) අන්තයන්ට නොගොස් මද්‍යයේ සිට දැක්ම(කච්ඡායන ගොත්ත සූත්‍රය). සතර සතිපට්ඨාන සූත්‍රය සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි" යනුවෙන් බුදු රජාණන් වහන්සේ එය විස්තර කර ඇත. "කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම බව මෙයින් පැහැදිලි වේ. සම්මා දිට්ඨිය පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විවිධාකාර යෙන් විවිධ සූත්‍රවල දේශනා කර ඇත. සම්මා දිට්ඨි සූත්‍රය 16 ආකාරයකින් එය විස්තර කර ඇත. චත්තාරීසික සම්මාදිට්ඨි සූත්‍රය 40 ආකාරයකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. මහා කච්ඡායන සූත්‍රය‍වල ද සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් දක්වා ඇත.

සම්මා සඞ්කප්ප

ප්‍රධාන ලිපිය: සම්මා සඞ්කප්ප

සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා ය. යහපත් සංකල්පනා යනුවෙන් අදහස් කරන්නේ වැරැදි සංකල්පනාවලින් ඈත් ව නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මේ නිවැරැදි සංකල්පනා කොටස් තුනකි.

1. නෙක්ඛම්ම සංකල්පනා
2. අව්‍යාපාද සංකල්පනා
3. අවිහිංසා සංකල්පනා

නෙක්ඛම්ම සංකල්පනා

“නෙක්ඛම්ම” යනු නික්මීම යි. මෙයින් අදහස් කරන්නේ ගිහි ගෙය හැර දැමීම නොව ගෘහ ජීවිතවලට සම්බන්ධ කාම සංකල්පනාවලින් ඉවත්වීම යි. “මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑ ය; මේක මහා භයානක දෙයක් ය; ඒ නිසා නිවන අවබෝධ කර ගන්නට ඕනෑ ය; ලෞකික දේවල ම පැටලී සිටින එක ඥානවන්තකමක් නොවෙයි.” ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා ලෙස හැඳින්වෙයි. නිවන් දකින්නට බලාපොරොත්තු වෙන තැනැත්තා දූ දරු මා පිය සහෝදර ඥාති මිත්‍ර ආදී ගෘහ ජීවිතවලට සම්බන්ධ බැඳීම්වලින් සිත ඈත් කර ගත යුතු යි. ඒ සම්බන්ධ සිතිවිලි ගලා එන විට මෙනෙහි කර වළක්වා ගත යුතු යි. යම් කිසි කෙනෙකුට සංසාරයේ රැඳී සිටීම දුකක් කියා අවබෝධයක් නැත්නම්, ඒ දුක නැති කිරීමේ කල්පනාවක් ඇති නොවේ. භාවනා කිරිමට, විදර්ශනා ඥාන ඇති කර ගැනීමට, සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට, සංසාර විමුක්තිය ලැබීමට සිතෙන්නේ නෙක්ඛම්ම සංකල්පනා උපදවා ගත් කෙනෙකුට යි. එසේ නොසිතන කෙනා කිසිවක් නොකරයි. ඒ නිසා සසර දුකින් මිදීමට සම්මා සංකල්පනාව අත්‍යවශ්‍ය ම දෙයකි.

අව්‍යාපාද සංකල්පනා

ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ සංකල්පනාව අවත්‍ාපාද සංකල්පනාව යි. “ව්‍යාපාදතෝ නිස්සඨොති අව්‍යාපාද සංකප්පෝ” යනුවෙන් බුදු රජාණන් වහන්සේ අව්‍යාපාද සංකල්පනා හඳුන්වා ඇත. ව්‍යාපාදය යනුවෙන් හඳුන්වන්නේ තරහව, නොමනාපය, නොසතුට ආදිය සම්බන්ධ සිතිවිලි යි. තරහවට විරුද්ධ සිතිවිලි අව්‍යාපාද සිතිවිලි යි. නිවන් දැකීමට බලාපොරොත්තු වන පුද්ගලයා නිරන්තරයෙන් කෝප වී කටයුතු කිරීම තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට බාධාවකි.
විවිධාකාර හේතු නිසා ව්‍යාපාදය යට ගනී. තමා කැමති ආකාරයට අන් අය නොහැසිරීම, තමාට හෝ තමා ගේ හිතවත් අයටත්, ඒ අය ගේ දේපොළ වස්තුව ආදියටත් වෙනත් අය විසින් කරදර පීඩා කරනු ලැබීම, තමාට වුවමනා ආකාරයට අන් අය නොහැසිරීම, අව් වැසි සුළං ආදී ස්වභාව ධර්මයට සම්බන්ධ සිදුවිම්, මැසි මදුරු උවදුරු, ශාරීරික වේදනා ආදිය පමණක් නොව භාවනා කරන විට යම් කෙනෙකු විසින් බාධා කරනු ලැබීම වැනි සිදුවීම් නිසා ද ව්‍යාපාදය ඇති විය හැකි ය. එවැනි අවස්ථාවල දී “තරහවක් තරහවක්, නොසතුටක් නොසතුටක්”ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය නැති කර ගත හැකි ය. දිනපතා ටික වේලාවක් හෝ සියලු සත්වයන් අරමුණු කරමින් මෛත්‍රී භාවනාවෙහි යෙදීමෙන් ව්‍යාපාද සංකල්පනා ඇති වීම අඩු කර ගත හැකි ය.

අවිහිංසා සංකල්පනා

හිංසා සහගත සිතිවිලිවලට විරුද්ධ සිතිවිලි අවිහිංසා සංකල්පනා ලෙස හැඳින්වේ. එ පමණක් නොව කරුණා සහගත සිතිවිලි සිත තුළ ඇති කර ගත යුතු යි. ඒ සඳහා කරුණා භාවනාව කිරීම ඉතාම සුදුසු යි. කරුණා භාවනාව කෙරෙනුයේ "දුකට පත් සත්වයෝ දුකින් මිදෙත්වා!" යනුවෙන් මෙනෙහි කිරීමෙනි. මේ ලෝකයේ යම් තාක් සත්වයෝ සිටිත් නම් ඒ හැම සත්වයෙක් ම දුකට පත් වී සිටිති. මෙහි දී දුක යනුවෙන් අදහස් කෙරෙන්නේ කායික පිඩා, මානසික පීඩා ආදිය පමණක් නොවේ. මේ පංචස්කන්ධයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් ම දුකකි. ජාති දුක්, ජරා දුක්, මරණ දුක් ආදියත්, ඊට අමතරව ක්ලේශයන් නිසා ඇති වන දුක්, නැවත නැවත ඉපදීමේ දුක් ආදියත් ඇත. රහත් නොවූ කිසිවකු මේ දුක්වලින් මිදි නැත. බුදු, පසේ බුදු, රහත් වැනි උත්තමයන් ද දුකින් මිදෙන්නේ පිරිනිවන් පෑවාට පසුව යි. ඊට පෙර කය තිබෙන තාක් කායික දුක් ඇත.


සාරාංශය

බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා ඒකායන මාර්ගය මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. සම්මා සම්බුදුවරයන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන ශ‍්‍රාවකයෙකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.(මෙතනදී ආර්‍ය් අෂ්ටාංගික මාර්ගයේ සිටිකෙනෙකු විය යුතුයි.පහත කරුණු ඇතිවෙනවා නැතිවෙනවා කියන එකට වඩා එම මාර්ගයේ ජීවත් වීමයි වැදගත්.)

  • 1.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් ඇති බව.
  • 2.එම අංග ශීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් කොටස් තුනකින් යුක්ත බව.
  • 3.පියවි තත්ත්වයේ ජීවත් වන සෑමවිට මෙම අංග ක‍්‍රියාකාරී බව.
  • 4.නින්ද හෝ සිහිවිකල් මෙම අංග ක‍්‍රියාකාරී නොවන බව.
  • 5.මෙම අංග නිත්‍ය නොවන බව. එනම් වේගයෙන් ඇති වී නැති වී යන බව
  • 6.මෙම අංග නැවත නැවත ඇතිවීමට හේතුව ඇස්, කන්, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු කර ගැනීම බව.
  • 7.මෙම අංග මගින් තම ජීවිතය හෙවත් සංසාරය පවතින බව.
  • 8.මෙම අංග අට ඒ ඒ මොහොතේ ඇති වී නැති වී යන ආකාරය නොදැනීම අවිද්‍යාව හෙවත් තමන් ගැන අනවබෝධය බව.
  • 9.තමා ගැන අවබෝධයක් ලැබෙන පරිදි මෙම අංග සකස් කර ගැනීම ,සම්මා කර ගැනීම අෂ්ටාංගික මාර්ගය වැඞීම ලෙස හඳුන්වනු ලබන බව.
  • 10.ජීවත්වීම හා මාර්ග අංග අට ක‍්‍රියාත්මක වීම එකම දෙයක් බව


අපි සාමාන්‍ය මට්ටමේ ජීවත් වීම යනු වාචා, කම්මන්ත, ආජීව ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් පමණකි.වායාමය, යනු අපගේ උත්සාහයයි. සතිය යනු අපගේ සිහිකල්පනාවයි. සමාධි යනු අපගේ එකඟකමයි. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම වචනයක් කතා කිරීම සිදු නොවේ. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම කම්මන්තයක් සිදු නොවේ. වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම ආජීවනයක් සිදු නොවේ. වාචා, කම්මන්ත, ආජීවවල පාලනය, වායාමය , සති, සමාධිවලට අයත් වේ. එනම් වාචා, කම්මන්ත, ආජීව රැුකිය හැකි වේ. රැුකිය හැකි යන අර්ථයෙන් මෙම අංග ශීල කොටස ලෙස හඳුන්වයි. වායාමය, සතිය හා සමාධිය රැුකීමට නොහැකි වැඞීමට හැකි ධර්මයන් වේ. වැඩිය හැකි යන අර්ථයෙන් මෙම අංග සමාධි කොටස ලෙස හඳුන්වයි. එනම් ඇස්, කන්, නාසා ආදී එක් ඉන්ද්‍රියකින් ඇතුල්වන අරමුණකින් හට ගන්නා උත්සාහය වායාමය ඊළඟ ඉන්ද්‍රියේ ඇතල්වන අරමුණ තුළ පවත්වා ගත හැකි වේ. මේ ආකාරයට සතිය හා සමාධිය වැඩිය හැකි වේ. දිට්ඨි හා සංකප්ප මන සේ අභ්‍යන්තරයේ ඇති ගුප්ත කොටස් දෙකක් වේ. දිට්ඨි, සංකප්ප යන කොටස් රැුකීමට හෝ වැඞීමට හැකි ධර්මතා නොවේ. මෙම කොටස් අවබෝධ කර ගැනීමට හැකියාව පමණක් ඇති බැවින් ප‍්‍රඥා කොටස ලෙස හඳුන්වයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීම

මෙම අංග සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි. බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි. එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ. මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ. ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි. ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි. සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ. විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ. විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි. කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ. විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා මාර්ග පල ලබාගැනීම [1]

එදිනදා ජීවිතයේ සක්මන් භාවනාව වැඩීම [2]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ තොරතුරු, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.