භාතිකාභය ක්‍රි.පූ. 20 සිට ක්‍රි. ව. 7 දක්වා රජ කළ සිංහල රජු යි. කුටිකණ්ණ තිස්ස රජු ගෙන් පසු (බු.ව. 522) රාජ්‍යත්වයට පැමිණි ඔහු දෙටු පුත් භාතිකාභය, මහාදාඨික රජු ගේ සොහොවුරකු වූ නිසා ‘භාතික රජ්ජුරුවෝ’ නමින් දිවයිනේ ප්‍රසිද්ධ විය. සිය සොහොවුරු මහානාම (මහනාග? - මහාදාඨික මහනාග) කුමරු සමග ලෙන්ගතුකමකින් ද ක්‍රියාකළ මෙ රජ ඔහු ගේ බෞද්ධ පුජා නිසා ම ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී.
| භාතිකාභය අභය | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
රුවන්වැලි සෑය අභියස අඩි 8ක් උස භාතිකාභය අභය ශෛලමය පිළිමය | |
| රාජ්‍ය සමය | 20 ක්‍රි.පූ – 9 ක්‍රි.ව |
| පූර්වප්‍රාප්තිකයා | කුටිකණ්ණ තිස්ස |
| අනුප්‍රාප්තිකයා | මහාදාතික මහානාග |
| රාජවංශය | විජය |
| පියා | කුටිකණ්ණ තිස්ස |
| ආගම | ථෙරවාද |
මේ රජ ධාර්මික විය. එ සේ මැ හේ දැහැමින් රටේ පාලනය කරගෙන ගිය හ යි බොහො ලිපිවල සඳහනි. රාජ්‍යත්වයට පැමිණීමට පෙර සිට මැ බෞද්ධ ධර්මය කෙරෙහි මොහු තුළ වූ ලැදියාව ද, ඔහු ගේ රාජ්‍ය කාල සිමාව තුළ පිළිබිඹු වේ. ලෝවා මහා පායේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවීය, මහා ථූපයට (රුවැන්වැලි මහ සෑයට) මල් හා ජල පූජාවන් පැවැත්වීය; මෙහි දී අභය වැවේ ජලය රුවන්වැලි මහ සෑයට ඉසීමට තාක්ෂණ ක්‍රමවේද අනුව කළ බව් පෙනේ. හේ රෝමයට දූතයන් යවා පබළු ගෙන්වා ඒවායින් දැල් කරවා, රුවන්වැලි මහ සෑය සුනු පිරියම් කැරැ පබළු දැලකින් සරසවා මහ සෑයේ පූජා කටයුතු කළ බව ඉතිහාස ගත වී ඇත. තම රාජ්‍ය සමය තුළ දී, මස් මාංශ විකිණීමත් සතුන් මැරීමත් සහමුලින් මැ නවතා, රට ම ධාර්මික කරගැනීමට උසහ දැරූ රජකු බවට මොහු බුදුනුවන් අතර ප්‍රකට ය.
භාතිකාභය රජු ගේ ඉතිහාසය
රෝමයේ ක්ලවුදියෙස් (ක්ලෝඩියස්) රජු ගේ කාලයේ දී එ රටට දූතයන් යවා ඒ රට සමග ගිවිසුමක් ඇති කර ගත් බව ප්ලිනී ගේ ඓතිහාසික විස්තර අනුව ද තහවුරු වී ඇත. මේ රජු ගේ පාලන කාලය තුළ සිය ආඥා චක්‍රය දිවයින තුළ ක්‍රියාත්මක වූ අතර නොයෙක් පළාත්වල සෙල්ලිපි පිහිටුවා ඇති අතර ඒවායින් ලිපි 15 ක් පමණ හඳුනා ගෙන ඇත. දක්ෂිණ දේශය සිය සොහොවුරාටත් රෝහණ දේශය සිය පුත්‍රයාටත් පවරා තුබූ බව හැඟී යයි.
එ සේ ම මේ රජුගේ කාලයේ ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව නාවික සේවාවක් පවත්වා ගෙන ගොස් ඇති බව් පෙනේ. කලා වැව නිම්නයේ ඇති අනුල පවත නම් විහාරයට කරන ලද පුද පූජා පිළිබඳව ප්‍රධානියා "අහල" ඇමතිවරයා බව් පැහැදිලි ය. රෝම රටින් පබළු ඇතුළු පූජා භාණ්ඩ ගෙන ඒමත් පසුව සේරි රටට හෙවත් චීනයට වෙළෙඳ කටයුතු පිණිස ගිය ගමන් බිමන් ආදියත් මේ කරුණු හා සැසැඳේ.
එ සේ ම භාතිකාභය රජු ධර්මාධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත්, අධිකරණ කටයුතුවල දී ගෝදත්ත නම් තෙරුන් වහන්සේ ගෙන් උපදෙස් ලබාගෙන ඇත.[තහවුරු කර නොමැත] එ සේ ම ගවයන් මැරීම හා ගවමස් කෑමද මේ රජු විසින් තහනම් කර තිබුණු බව් පෙනේ.
භාතිකාභය රජු ගේ රාජ්‍ය කාලය පිළිබඳව රාජ රත්නාකාරය හා රාජාවලිය යන ග්‍රන්ථවල එකිනෙකට වෙනස් තොරතුරු දැක්වේ. මහාවංශයේ දැක්වෙන්නේ විසි අට වසක් රජකම් කළ බවයි.
බෞද්ධ ශාසනික සේවාවන්
භාතිකාභය රජ රුවන්වැලි සෑය හා බැඳුණු විශාල පින්කම් කිහිපයක් ම පැවැත්වී ය. එක් වරක් සඳුන් කල්ක තවරා ඒ මත සමන් මල් අතුරා අහසින් සුවඳ පැන් ඉසී. තවත් වරෙක රෝමයෙන් ගෙන්වූ අනර්ඝ පබළු වලින් සෑය සැරැසී. මහා විහාරයටත් අභය ගිරියටත් කිසිම වෙනසක් නො කර එකම විදියට සැලැකූ මේ රජතුමා ගේ රාජ්‍ය කාලය ඉතාමත් දැහැමි කාලයක් හැටියටයි සැලකෙන්නේ. එතුමා රජ කළ අවු. 28 තුළ නොවරදවාම වෙසක් උත්සව ද පවත්වා තිබේ.
එම කරුණු සහිතව විග්‍රහා කිරිමේ ලිපිය මෙසේ සනිටුහන් කරමි.
රුවැන්වැලිසැය සහ භාතිකාභය රජතුමා අතර සම්බන්දතාවය
රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැදමැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ.
එනම් ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි .රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදු කළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි .හවසටත් රුවන්වැලි මහා සෑයටත් වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේය. දවසක් රජතුමාට යෙදිළා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොදටම හවස් වුණා.ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාළිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා.බත් පිඩ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා. රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයන් ගෙන් බත් පිඩක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා “අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ කලේ නැහැ “නේද කියල .එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළි ගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන ස්තුපයක් ලෙසය. මේ උතුම් දාගැබයි .රාජ් පුරුෂයා රජතුමාට කියනවා “දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ “කියලා රජතුමා කලබලයට පත් වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඩ ආපහු රන් තලියට දමන නැගිට්ටා .ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා වුනා. දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා. කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා .එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා .
භාතිය රජතුමාට ඇහුනා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා .පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ .කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ .හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඩ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතූ ගර්භයේ ඇතුලතින් කියලා රජතුමාට වැටහුණාඑදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨාන කළා .”චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා ” කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා. භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන් ගේ ආසන උණු වෙන්න පටන් ගත්තා. සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා .ඒ ගැන වටහගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා.ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා.ඒ පිරිත් හඩ තමයි රජතුමාට අහන්න ලැබුණේ.
පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍර්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා.ඒ රහතන් වහසේ ඍර්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජ්තුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා.රජතුමාගේ හිතේ හැටිය ධාතූ ගර්භය වන්දනා කරගන්න සැලැසුවා.නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍර්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා.බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති.අන්න ඒ ආකාරයට තමයි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍර්ධිබලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතූ ගර්භය වන්දනා කරවන්න ඇතුලට ගෙන ගියේ.ධාතූ ගර්භය තුල සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැදුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොදයි කියලා කළ්පණා කළා.රජතුමා රන්කරුවන් ළවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාළිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතූ ගර්භයෙහි ආකෘතියක් සකස් කළා.භාතිය රජතුමා වසරක් පාසාම නගර වාසීන්ට තමන් දුටු ඒ ධාතූ ගර්භයෙහි සැළැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත් වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුළ දරුවන් පැවිදි වූ බවත් ථුපවංශයෙහි සදහන් වෙලා තියෙනවා.
කෙසේ නමුත් මහාවංශයේ මෙය සදහන් කලත්, මේ රජතුමා සහ අනුරාධපුර සහ මහනුවර ප්‍රදේශ අතර සම්බන්දයක් තිබුනා බව වාර්තා වේ, එනම් භතිකාභය රජුගේ මාලිගය සමග බවයි විශ්වස කරනු ලබන්නේ, මිනිසුන්ගේ විවිධ කතා වලට අනුකූලව, ඔහුගේ මාලිගයත්, රුවැන්වැලිසැයත් අතර සම්බන්දයක් මෙතුමාට තිබුනු බව මිනිසුන්ගේ කඨකතා වලින් දැනගන්නට ලැබෙනව. එනම් භාතිකාභය රජතුමා, තමන්ගේ මාලිගයට උත්සවශිරියෙන්, ද්‍රොනයක් පමණ වු ධන්ත දාතුන් වහන්සේ අධිශ්ඨාන කොට එර්දියෙන් වැඩමකරගෙන රුවැන්වැලිසැයෙන් බොහො පින් කුසල් රැස් කරගත් බවයි සදහන් වෙන්නේ.
එපමණක් නොවේ, මෙතුමා සිල්වත් වී, බෞද්ධ භික්ෂුන්ගේ දාන සිල භාවනා වැඩ පිලිවෙත් අකුරට ඉශ්ඨකිරිමට ඉමහත් සේවාවක් සිද්ධ කරනූ ලැබූවා.
රුවැන්වැලිසෑයේ සිදු කරනු ලැබු ප්‍රභල නිර්මාණ.
ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි. රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදි සුවද මල් වගා කෙරෙව්වා.දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා. එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහාසෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා.සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා එවැනි ශද්ධාවන්ත රජ කෙනෙකුගේ ප්‍රථිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදු කළ ඒ පූජාවන් ගැන සිහි කරද්දි රුවන්වැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොදින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා. මහාවංසයෙහි සදහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා. මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල්වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සදහන් වෙනවා.අඩ ගැමුණු නම් රජතුමා රුවන්වැලි මහා සෑය මුදුනේ ජත්‍රයක් පිහිටුවා පූජාවන් පැවැත්තුවා.ඉන්පසු ඉලනාග නම් රජතුමා ලම්බකරණ ගෝත්‍රිකයන් ලවා රුවන්වැලි මහා සෑයට යන මාර්ගය අලංකාරවත් ලෙස සකස් කරවූ බවත් ,සිරිනාගනම් රජතුමා රුවන්වැලි මහා සෑයෙහි කොත්කැරැල්ල මුදුනෙහි ජත්‍රයක් පිහිටුවා එය රනින් අලංකාරවත් ලෙස කැටයම් කර වූ බවත් හතරැස් කොටුවෙහි ලක්ෂය බැගින් වටිනා මානික්‍ය හතරක් පිහිටුවා පූජාවන් සිදුකළ බවත් සදහන් වෙලා තියෙනවා.පළවෙනි අග්‍රබෝධි රජතුමා රත්තරනින් කරවන ලද ජත්‍රයක් රුවන්වැලි මහා සෑයට පූජා කළ බවත් ,මහා ප්‍රාක්‍රමබාහු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තවත් අලංකාරවත් කළ බවත් ,කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා ,දෙවන පරාක්‍රමබාහු රජතුමා ,හතරවැනි විජයභබාහු රජතුමා වැනි රජවරුන්ගේ කාලයේ පවා විටින් විට මහා සෑයේ ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කරමින් අතීත රජවරුන් මහා සෑයට ගරු සත්කාර පැවැත්වූ ආකාරය මහාවංශය ආදී ග්‍රන්ථවල සදහන් වෙනවා.
දුටු-ගැමුණු සහ භාතිකාභය රජවරුන්ගේ වෙසක් උත්සව.
මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජතුමා ලවා “අනාගතයේ ලංකාවේ රජ වන ගාමිණී අභය මහ රජ විසින් ස්වර්ණමාලී නම් චෛත්‍ය කරවන බවට” ලියා පිහිටුවූ ගල් ටැඹ දුටු දුටුගැමුණු රජතුමා අතිශයින් සතුටට පත්ව රුවන්වැලි මහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ වෙසක් පොහෝ දිනයක විසා නැකතට. වර්ෂයක් පාසා වෙසක් පූජෝත්සව පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ ද දුටුගැමුණු රජතුමාටය. එතුමාගේ පින්පෙත අනුව වාර්ෂික වෙසක් පූජෝත්සව විසි හතරක් කරවූ බව මහාවංශයේ සඳහන් වේ.
මහා වංශයට අනුව ලක්දිව රජවූ සියලු රජවරු විවිධ පුණ්‍යෝත්සව මහා ඉහළින් පවත්වා ඇත. එම පින්කම් වෙසක් පින්කම් යැයි විශේෂයෙන් සඳහන් නොවේ. එහෙත් භාතිකාභය රජ්ජුරුවන් කරවූ පින්කම් අතර වෙසක් උත්සව විසි අටක් ම සිදු කළ බව මහාවංශය දක්වයි.
ශාසනික සේවාවන් සහ කුසල කර්මයන් කෙටියෙන්.
- තමනට ලැබෙන බදු මුදලින් නගරය වටා යොදුනක ප්‍රමාණයට සමන් පිච්ච මලුත්, ඉද්ද මලුත් සිටුවීම.
- මහ සෑයේ පාදමේ සිට ඡත්‍රය මුදුන දක්වා අඟල් සතරක පමණ ඝනකමට සුවඳ මැටි, ආලේප කරවා සමන් මල් නටුයෙන් පරෙස්සමින් සුවඳ මැට්ටට ඇතුල් කොටැ මුළු මහ සෑය මැ එකම මල් ශාලාවක් කොටැ පූජා කිරීම.
- තවත් දවසක අඟල් දෙකක් ගණකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා පෙර සේ මැ මහ සෑය වැසෙන්නට මල් අමුණා පූජා කිරීම.
- තවත් දිනක පඩිපෙලේ සිට මුදුනේ ඡත්‍රය දක්වාම මහ සෑය මල්වලින් පිරී යන සේ අතුරා මහ සෑය මලින් වැස්වීම.
- තවත් දිනක යන්ත්‍ර මාර්ගයෙන් අභය වැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් උඩට විහිදුවා මහා සෑයට ජලය ඉස්සවමින් මහා සෑය පැන් පහසු කරවමින් ජල පූජාවක් කිරීම.
- ගැල් සියයක මුතු ගෙනැවිත් සියුම් වෙන්ට තෙලින් පරෙස්සමින් අඹරවලා සුණු පිඬු කරලා මහා සෑයේ මුතුපාටට දිලිසෙන සුදින් ආලේප කිරීම.
- නැගෙනහිර වාහල්කඩ ළඟ ආහාර නොගෙන මහ සෑය දෙසට හිස යොමා වැතිරුණු භාතිකාභය රජු රහතන් වහන්සේලා විසින් දොරක් මවා දා ගබ (ධාතු ගර්භය) ඇතුළට ගැනිණි.
- ඒ ධාතු ගර්භයේ අලංකාර සියල්ල ම දැකැ පිටතට පැමිණි පසු ඒ ආකාරයට ම සිතුවම් අඳින වස්ත්‍රවල ඒවා සිතුවම් කොට පූජා කිරීම.
- මධුගන්ධ නමින් පූජාවක් කැරැවීම. කළස්වල සුවඳ පුරවා එහි මල්මිටි දමා පූජාවක් කැරැවීම. සුවඳ දියෙනුත්, අඳුන් සිරියල්වලිනුත්, ඒ වගේ ම මනෝසීලවලිනුත් පූජාවක් කැරැවීම.
- සෑ මළුවෙහි ඒ මනෝසීලවලට මල්වැසි වස්සවා ගොප්මස පමණ දක්වා පිරුණු පසු මහනෙල් මල්මිටි තබා පූජාවක් කිරීම.
- මුළු මහ සෑ මළුව පුරා ම සුවඳ මැටි පුරවා එහි සිදුරු සාදා මහනෙල් මල් මිටි සිටුවා පූජාවක් කැරැවීම.
- මහා සෑ මළුවෙන් දිය බස්නා මාර්ග වස්සවා සෑ මළුවේ ගිතෙල් පුරවා පට රෙදිවලින් කළ පහන් වැටියෙන් මළුව පුරාම පහන් දල්වා, ඒ පහන් සිළුවෙන් මහ සෑය පූජා කිරීම.
- ඒ විදිහටම මී තෙල්වලිනුත්, තල තෙල්වලිනුත් පුරවා, පට රෙදිවලින් පහන් වැටි තනවා බොහෝ පහන් දල්වා ඒ පහන් සිළුවෙන් මහ සෑය පූජා කිරීම.
- වර්ෂයක් පාසා මහ සෑයේ සුනු ආලේප කිරීමේ උතුම් මංගල්‍යය කිරීම. ඒ විදිහටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් බෝධි ස්නාන පූජා නමින් පැන්පහසු කරවීමේ පූජාවක් කිරීම.
- විසි අට අවුරුද්දක් ම වෙසක් මහා පුණ්‍යෝත්සවය උදාර අයුරින් කිරීම. සාමාන්‍ය පූජාවන් අසූ හාර දහසක් කැරැවීම.
- නැට්ටුවන් යොදවා කරන සැණකෙලි කැරැවීම. මහ සෑයට නොයෙක් තූර්යනාදයන්ගෙන් පූජා පැවැත්වීම. ශ්‍රද්ධාවෙන් ඉපිල යමින් නොයෙක් අයුරින් පූජාවන් කිරීම.
- දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය පිණිස මහ සෑයට යාම. දවසට දෙ වරක් බෙර වැයුම් සහිතව මල් පූජාව නොකඩවා කිරීම.
- පෙරහර දාන, පවාරණ දාන ආදියත්, තෙල් – පැණි – වස්ත්‍ර – පහන් ආදී ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන පිරිකරත් පූජා කිරීම.
- සංඝයාට චෛත්‍ය අලුත්වැඩියාවට අවශ්‍ය වියදම් පිණිස බොහෝ කුඹුරු පූජා කිරීම. ලංකාව පුරාම පිහිටි චෛත්‍යස්ථානවලට කුඹුරු පූජා කිරීම.
- සෑගිරියේ දහසක් භික්ෂු සංඝයාට හැම කල්හිම සලාකබත් දානය පූජා කැරැවීම.
- ඒ වගේම මනරම් වූ චිත්ත ප්‍රාසාදයේත්, මැණික් ප්‍රාසාදයේත්, මුචල ප්‍රාසාදයේත් යන උපස්ථාන ප්‍රාසාද තුනේත්, ඒ වගේම පියුම්ඝරයේත්, ඡත්ත ප්‍රාසාදයේත්,යන පස් තැනෙහි ග්‍රන්ථ ධුරයෙන් යුතු භික්ෂූන් වහන්සේලා වළඳවමින් සැමදා ධර්ම ගෞරවයෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කිරීම.
- පුරාණ රජදරුවන් විසින් නියම කැරුණු බුද්ධ ශාසනය පිළිබඳ යම්කිසි පුණ්‍ය කර්මයක් ඇත්නම් භාතික රජු ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කිරීම.
විශිෂ්ටත්වය
දුටුගැමුණු රජු ගෙන් පසු බුදු දහම නඟා සිටුවීමටත්, මිනිසුන් තුළ කුසල් සිත් / පින් සිත් ඇතිකිරීම උදෙසාත්, බෞද්ධ සහ සිංහල ජාතියට පහල වු ධාර්මික රජ කෙනෙකි. වඩාත් සිල්වත් වු මෙතුමන් ගේ අධිෂ්ඨාන ශක්තිය ද ප්‍රබල ලෙස පැවැති බව ඉතිහාස පුරාවෘතවල සඳහන්.
මෙවාද බලන්න
- Mahāvaṃsa
- List of Sri Lankan monarchs
මූලාශ්‍ර
- හෙළයේ ඉතිහාසය - Wordpress ලිපිය
- මහාවංශය
වැඩිදුර කියවීම්
බාහිර සබැඳුම්
- නොඇසු සත්‍ය සොයා YouTube Channel
- හෙළ රාජධානිය
- දැහැමි රජවරු සහ ක්‍රිස්තු වර්ෂ මාරුව - රාජාවලිය
- මහා සෑ රජුන්ගේ ධාතු ගර්භය තුළට ගිය භාතික අභය රජතුමා
- සංරක්ෂණය කළ පිටපත 2020-01-15 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භාතිකාභය අභය රජ පිළිබඳ තොරතුරු, භාතිකාභය අභය රජ යනු කුමක්ද? භාතිකාභය අභය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?