මානව අස්ථි සැකිල්ල, දේහයේ අභ්‍යන්තර සැකිල්ල ලෙස ක්‍රියා කරයි. මානව සැකිල්ල උපතේදී අස්ථි 270කින් පමණ සමන්විත වන අතර - වැඩිවියට පත් වීමේදී සමහරක් අස්ථි හාවීම හේතුවෙන් මෙය 206 පමණ දක්වා අඩු වේ. සම්පූර්ණ දේහ බරින් 14%ක් පමණ සමන්විත වන්නේ අස්ථි වලින් වන අතර (සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ කිලෝග්‍රෑම් 10-11 පමණ) එය වයස අවුරුදු 25ත් 30ත් අතර කාලයේදී උපරිම අගයක් ගනියි. මානව සැකිල්ල ප්‍රධාන වශයෙන් ආක්ෂක සැකිල්ල හා ගාත්රා සැකිල්ල ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. ආක්ෂක සැකිල්ල කොඳු ඇට පෙළ, පර්ශු, හිස් කබල සහ ආශ්රිත අස්ථි වලින් සමන්විත වේ. ගාත්රා සැකිල්ල උර මේකලාව, ශ්‍රෝණි මේකලාව, පූර්ව ගාත්රා යුගල සහ අපර ගාත්රා යුගල අස්ථි වලින් සමන්විත වන අතර එය ආක්ෂක සැකිල්ල හා සම්බන්ධව පවතියි.
මානව අස්ථි සැකිල්ල: සන්ධාරණය, චලනය, ආරක්ෂාව, රක්තාණු නිශ්පාදනය, ඛනිජ සංචිත කිරීම සහ අන්තරාසර්ගී යන කෘත්‍යයන් හය ප්‍රධන වශයෙන් ඉටුකරයි.
මානව අස්ථි පද්ධතිය, වෙනත් සත්ත්ව විශේෂ වල මෙන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව සැලකිය යුතු තරම් විශාල වෙනස් කමක් නොදක්වන නමුත් හිස් කබල, දත්, විශාල අස්ථි සහ ශ්‍රෝණි අස්ථි පුමිතිරිබව අනුව යම් යම් වෙනස්කම් පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් එකම ජනගහනයක් තුළ ස්ත්‍රී හා පුරුෂ අස්ථි සැලකූ විට ස්ත්රීන්ගේ අස්ථි පුරුෂයින්ගේ අස්ථි වලට වඩා මදක් කුඩා බවත් පෙන්නුම් කරයි. මානව ස්ත්‍රී ශ්‍රෝණි මේකලාව දරු උපත සඳහා යෝග්‍ය වන පරිදී, පුරුෂ ශ්‍රෝණි මේකලාවට වඩා වෙනස්ව පිහිටයි. වෙනත් ප්‍රයිමේටාවන්ට මෙන් මානවයින් හට ශිෂ්ණ අස්ථි නොපිහිටයි.
ප්‍රධාන කොටස්
ආක්ෂක සැකිල්ල
ආක්ෂක සැකිල්ල සමන්විත වන්නේ කශේරුව (අස්ථි 32-34: කශේරුකා අස්ථි ගණන පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස් වේ), උරස් කූඩුවේ කොටසක් (පර්ශු යුගල 12 සහ ඌරෝස්ථිය), සහ හිස්කබලෙනි.
ගාත්රා සැකිල්ල
මානව ගාත්රා සැකිල්ල (අස්ථි 126) සමන්විත වන්නේ උර මේඛලාව, පූර්ව ගාත්රා (අත්), ශ්‍රෝණි මේඛලාව, සහ අපර ගාත්රා (පාද) මගිනි. මෙහි ප්‍රධානතම කෘත්‍ය වන්නේ සංචරනය සහ ආරක්ෂාව සැපයීම වේ.
කෘත්‍ය
මානව සැකිල්ලේ ප්‍රධාන කෘත්‍යයන් හයකි: සන්ධාරනය, සංචලනය, ආරාක්ෂාව, රතු රුධිර සෛල නිෂ්පාදනය, ඛනිජ සංචිත කිරීම සහ අන්තරාසර්ගී කෘත්‍ය ඉටු කිරීම වේ.
සන්ධාරනය
අස්ථි පද්ධතිය දේහයේ හැඩය පවත්වා ගැනීම සඳහා සැකිල්ලක් ලෙස ක්‍රියා කරයි. ශ්‍රෝණිය, සහසම්බන්ධ ඛණ්ඩරා සහ මාංශපේෂී සමගින් ශ්‍රෝණි ව්‍යුහය සාදයි. පර්ශු, අන්තර්පර්ශුක කාටිලේජ, සහ අන්තර්පර්ශුක පේෂී නොමැති වුවහොත් පෙණහළු අස්ථාවර වේ.
සංචලනය
අස්ථි අතර පවතින සන්ධි චලනය සඳහා උපකාරී වේ. ඇතැම් සන්ධි අනෙක්වාට වඩා වැඩි චාලක පරාසයක් සහිත වේ. උදා: ගෝල-කුහර සන්ධි වඩා පුළුල් පරාසයක චලන සඳහා අවස්ථාව සලසන අතර ගෙලෙහි ඇති අසව් සන්ධි ඊට සාපේක්ෂව අඩු චලන පරාසයක් දක්වයි. මෙම චලනයන් කංකාල පේෂී මගින් බලගන්වයි. අස්ථි, සන්ධි හා පේෂී එකිනෙක සම්බන්ධ සිදු කරනන චලනයන් සියල්ල ස්නායු පද්ධතිය සමායෝජනය කරයි.
ආරක්ෂාව
මානව අස්ථි සැකිල්ල, අභ්‍යන්තර අවයව සඳහා ආරක්ෂව සපයයි.
- හිස් කබල මගින් මොළයට ආරක්ෂාව සපයයි.
- කශේරුකා මගින් සුෂුම්නාවට ආරක්ෂාව සපයයි.
- පර්ශූ කූඩුව, කශේරුව සහ ඌරෝස්ථිය මගින් පෙනහළු, හෘදය සහ ප්‍රධාන රුධිර වාහිනී වලට ආරක්ෂාව සපයයි.
රතු රුධිර සෛල නිෂ්පාදනය
අස්ථි පද්ධතිය, රක්තාණු නිෂ්පාදන ක්‍රියාවලින සිදු වන මධ්‍යස්ථානය වේ. රතු රුධිර සෛල වල නිෂ්පාදනය අස්ථි වල ඇති රතු ඇටමිදුළු තුළ සිදු වේ. ළමුන්ගේ මෙම රක්තාණු නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම ඌර්වස්ථිය සහ ජංඝාස්ථිය වැනි විශාල අස්ථි තුළ සිදු වන අතර වැඩිහිටියන්ගේ එය ප්‍රධාන වශයෙන්ම ශ්‍රෝණිය, කපාල අස්ථි, කශේරුකා සහ ඌරෝස්ථිය තුල සිදු වේ.
සංචිත කෘත්‍ය
අස්ථි කැල්සියම් සංචිත කරගන්නා අතර සහ කැල්සියම් පරිවෘත්තිය සඳහා ඍජුවම සම්බන්ධ වේ. ඇටමිදුළු මගින් යකඩ සංචිත කිරීම සහ යකඩ පරිවෘත්තිය සඳහා සම්බන්ධ වේ. කෙසේවෙතත් අස්ථි සම්පූර්නයෙන්ම කැල්සියම් මගින් සෑදී නොමැති අතර කොන්ඩ්රොටින් සල්ෆේට් සහ හයිඩ්‍රොක්සිඇපටයිට් මිශ්‍රණයක් මගින් ඉතිරිය සමන්විත වේ. හයිඩ්‍රොක්සිඇපටයිට් හී ස්කන්ධය අනුව සංයුතියේ 39.8% ක් කැල්සියම් ද, 41.4% ක් ඔක්සිජන් ද, 18.5% ක් පොස්පරස් ද 0.2% ක් හයිඩ්රජන් ද පවතී. කොන්ඩ්රොටින් සල්ෆේට් ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන් සහ කාබන් වලින් සමන්විත වේ.
අන්තරාසර්ග කෘත්‍ය
අස්ථි සෛල මගින් ඔස්ටියෝකැල්සින් නම් රුධිරගත සීනි මට්ටම හා මේද තැන්පත් වීම යාමනය කරන හෝමෝනයක් ශ්‍රාවය කරයි. ඔස්ටියෝකැල්සින් මගින් ඉන්සියුලින් ශ්‍රාවය සහ සංවේදීතාව යන දෙකම වෑඩි කරයි. ඊට අමතරව ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛල සංඛ්‍යාව වර්ධනය කරන අතර මේද තැම්පත් වීම ද අඩු කරයි.
- https://orthoinfo.aaos.org/en/staying-healthy/healthy-bones-at-every-age/
- Thieme Atlas of Anatomy, (2006), p 113
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානව සැකිලි පද්ධතිය පිළිබඳ තොරතුරු, මානව සැකිලි පද්ධතිය යනු කුමක්ද? මානව සැකිලි පද්ධතිය යනු කුමක් දර්ශනය කරන්නේ?