උඩුගම රතනපාල හිමි

උඩුගම රතනපාල හිමි යනු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වූ අතර, අස්ගිරි පාර්ශවයේ 17 වන මහානායක හිමි විය. 1893 ජූනි මස 2 දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර උඩුගම ගමේ උපත ලැබූ අතර උන්වහන්සේගේ පියා වූයේ උඩුගම ජයසුන්දර මුදියන්සේලාගේ ගම්පති නිළමේතුමා වූ අතර, මව වූයේ ඩිංගිරි මැණිකේ ජයසුන්දර කුමාරිහාමිය. උඩුගම බුලුපිටිය රජයේ විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය යන පාසල්වලින් ගිහි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1909 දී උඩුගම ගුණරතන හිමියන් යටතේ පැවිදි විය.

උඩුගම රතනපාල හිමි
ආගමබුද්ධාගම
ගුරුකුලයථේරවාද
පෙළපතසියම් නිකායේ අස්ගිරි පාර්ශවය
අතිපූජ්‍ය හිමි උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක හිමි
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතජුනි 2, 1893(1893-06-02)
උඩුගම, කුරුණෑගල දිස්ත්‍රික්කය
මරණයFebruary 9, 1970(1970-02-09) (aged 76)
ජ්‍යෙෂ්ඨ තනතුරු
පදවියන්අස්ගිරි පාර්ශ්වයේ මහානායක

බොරලැස්ගමුව පරමධම්මචේතිය පිරිවෙනින් පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වලානේ පඤ්ඤාතිස්ස හා ලෙනදොර ධම්මරක්ඛිත හිමිවරුන්ගෙන් ඉගෙනුම ලැබිය. 1915 දී අඹගස්වැව ශ්‍රී ධම්මපාල රතනජෝති මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ගලගෙදර ශ්‍රී ගුණරතන හා වැල්ලව ශ්‍රී අත්ථදස්සි හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබිය.

පොතුහැර ශ්‍රී ‍රතනපාල මහානාහිමියන්ගේ සඟ පෙළපත නියෝජනය කල උන්වහන්සේ 1921 වසරේදී දළඳා තේවාමුරයට පත්වූ අතර, මුල්ලේගම ගුණරතන මහානාහිමියන් විසින් කාරක සභාවට පත් කලේය. 1941 දී රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ අධිපති ධුරයට පත්වූ උන්වහන්සේ සිය පැවිදි ආචාර්යයන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කටුගස්තොට ලියන්ගස්තැන්න, අනුරාගල, මැල්සිරිපුර තලංගමුව යන විහාරයන්හි අධිපති ධුරයට පත්විය. 1955 දී අනුනායක ධුරයට පත්වූ උන්වහන්සේ 1966 වසරේ අගෝස්තු 18 දා අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි ලෙස තේරි පත්විය. උන්වහන්සේ පොතුහැර සඟ පරම්පරාව නියෝජනය කරමින් අස්ගිරි මහානාහිමි ධුරයට පත්වූ තුන්වෙනි ස්වාමින්වහන්සේ ලෙස ඉතිහාසයට එක්විය. 1999 වසරේදී මහානාහිමි ධුරයට පත්වූ උඩුගම බුද්ධරක්ඛිත මහානාහිමි හා කාරක සභික වඳුරාගල රතනජෝති හිමියන්උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන්ය.

1970 වසරේ පෙබරවාරි 09 දා උන්වහන්සේ අපවත්විය.

මූලාශ්‍ර

  1. "Centenary Number, Trinity College, Kandy, 1872–1972" (PDF). noolaham.net. 17 March 1972. p. 441. 8 August 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 June 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩුගම රතනපාල හිමි පිළිබඳ තොරතුරු, උඩුගම රතනපාල හිමි යනු කුමක්ද? උඩුගම රතනපාල හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?