නුවරඑළිය

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

නුවරඑළිය
නගරය
නුවරඑළි‍ය අවට ඇති තේ වගාව
අපනාමය(න්): පුංචි එංගලන්තය
නුවරඑළිය
ශ්‍රී ලංකා සිතියමක නුවරඑළිය පිහිටීම දක්වා ඇත
ඛණ්ඩාංක: 6°58′0″N 80°46′0″E / 6.96667°N 80.76667°E / 6.96667; 80.76667
අයත් වන රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයමහ නගර සභාව
 • නගරාධිපතිමහින්ද දොඩම්පේගමගේ
සරිය
 • මුළු13 කිමී2 (5 සතරැස් සැත)
උන්නතාංශය1,868 මී (6,129 අඩි)
ජනගහණය(2011)
 • මුළු27,500
 • ඝණත්වය3,197/කිමී2 (8,280/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලාංකීය සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කා. කේතය22200
ප්‍රාදේශීය දුරකතන කේතය052
ප්‍රාදේශීය දුරකථන කේ.052
වෙබ් අඩවියනුවරඑළිය නාගරික වෙබ් අඩවිය

නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපීය එළවළු, පලතුරු හා මල් වර්ග යි. ‍මෙම නගරයේ වැසියෝ මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් දැකිය හැකි යි.

මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පඳුරුවලින් ලෝකයේ අනර්ඝතම තේ වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපැදැවේ. තව ද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලීමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.

ඉතිහාසය

නුවරඑළිය නගරය සොයාගැනුණේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින් ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.

මෙම නගරය 19 වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයාගැනුණ ද මෙම භූමියට නිතරම පැමිණියෝ ස්ව‍දේශීය සිංහල සංචාරකයෝ යැ. එ මෙන් ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයාගැනුම් සාක්ෂි දරයි.

මෙහි ඇති බොහෝ ගොඩනැඟිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පවලට අනුකූලව සාදා ඇත. එ මෙන් ම මෙම නගරයේ වර්තමානයේ අලුතින් ගොඩනැඟිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විට දී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තව ද බොහෝ ‍පෞද්ගලික නිවාස ද තවමත් ඔවුන් ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මඳක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍

දේශගුණය

මුහුදු මට්ටමේ සිට ඉතා ඉහළ උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇති හෙයින් නුවරඑළියේ පවතින්නේ ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි  . ශිශිර කාලයට අයත් මාස වල දී (ජනවාරි සිට මාර්තු), රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙ වැනි දිනක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එ සේ මැ මෙම කාලයේ ඉර මුඳුන් වන වේලාවට අධික ලෙස උණුසුමක් ද ඇති ‍වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මෙයි.

මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. මෙම කාලයේ දී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිතදිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇදහැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යයාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි.

ඔක්තෝම්බරයේ දීත් නොවැම්බරයේ දීත් දෙ වන අනත්ර් මෝසම සක්‍රිය වන අතර දෙසැම්බරයේ සිට පෙබරවාරිය දක්වා ඊසාන දිග මෝසම සක්‍රීය වෙයි. මෙම කාලවල දී සාමාන්‍යයෙන් අනෙක් කාල වලට වඩා වර්ෂාපතනය වැඩිය.

සැණකෙළි

සිංහල හා දෙමළ අවුරුදු සමය එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී වේ. ඒ මන්ද යත් අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙළි සමය නිසාය. මෙම වසන්ත සැණකෙළි සමයේ සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1 වනදා යින් නගරාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල්වලට අයත් තූර්ය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ.

මෙ සමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙළි, ඡායාරූප ප්‍රදර්ශන ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනකු ගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන 4x4 'ලේක් ‍ක්‍රොස්’ තරඟයි. ඵහි උච්චතම අවස්ථාව වන්නේ පරලෝම 9 (මීටර 1811) ආණ්ඩුකාර කුසලානය යි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ.

සංචාරක ආකර්ෂණ

  • හෝර්ටන් තැන්න - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා මෙහි දී දැක ගත හැකි සත්ව විශේෂයන්ය.
  • නීල ගරුඬ ඇල්ල
  • ලෝකාන්තය - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනාගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරය යි.
  • බේකර්ස් ඇල්ල - බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.
  • ග්‍රෙගරි වැව - නුවරඑළියේ පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයකි. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන් ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුළ දැකගත හැකි වේ.
  • ලවර්ස් ලීප් ඇල්ල - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.
  • සීතා අම්මාන් කෝවිල - හනුමාන් කෝවිල ලෙස ද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට හක්ගල උද්භිද උද්‍යානය හමුවීමට පෙර යි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේ ය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.
  • නුවරඑළිය තැපැල් කාර්යාලය - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළියේ පිහිටි තැපැල් කාර්යාලය මෙ රට ඉදිකැරුණු පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.
  • වික්ටෝරියා උද්‍යානය - නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයකි. 1987 වර්ෂයේ යෙදී තුබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කොට තිබේ. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා, කායුරු තිරසිකායා, ගෝමර තිරසිකායා, ලය කායුරු වී කුරුල්ලා, කාෂ්මීර රත් මැසිමාරා ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක.
  • ගැල්වේ කුරුලු උයන - ගැල්වේ කුරුලු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි. මෙහි දී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.

වෙනත්

  • විලියම් රොජර්ස් සොහොන - ගොල්ෆ් පිටියක කෙළවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනකු නොදන්නා එක් විශේෂ ස්ථානයකි.[1] සංරක්ෂණය කළ පිටපත 2011-02-27 at the Wayback Machine. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලි ඇතුන් දහස් ගණනින් මරා ඇතැ යි කියවේ. ජනශ්‍රැතවල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරක දී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුව ද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.

නගරයේ ආකර්ෂණිය අනෙකුත් දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය, කන්දේ ඇල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන මං පෙත් තරණය ආදිය මින් සමහරකි.

මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු ගේ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[2] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එ වැනි ම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [3] හෝටලය යි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයකු ගේ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එ තරම් ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [4] සංරක්ෂණය කළ පිටපත 2010-12-06 at the Wayback Machine යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තැනුණෙකි.

සිතියම්

  • නගර සිතියම[permanent dead link]

බාහිර සබැදි

  • නිල නාගරික වෙබ් අඩවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවරඑළිය පිළිබඳ තොරතුරු, නුවරඑළිය යනු කුමක්ද? නුවරඑළිය යනු කුමක් දර්ශනය කරන්නේ?