මගීන්ගේ ගිමන් අවශ්‍යතා වෙනුවෙන් මහමග අසල පුරාණයේ ඉදිකල ගිමන්හල් අම්බලම නම්වේ.
අම්බලම් ඉදිකිරීම
මගී පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම් පුණ්‍යකර්මයක් ලෙස පැරණි ජනයා සැළකූහ. ඒ අනූව රටෙහි විවිධ ගම්මානයන් තුල අම්බලම් ඉදි කෙරුණු අතර, ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. පුද්ගල තරාතිරම් අනූව මෙරට ඉදිකරන ලද අම්බලම් වර්ග 2 ක් හඳුනාගත හැකිය.
මැටි අම්බලම්
සාමාන්‍ය පුද්ගලයන් සඳහා ඉදිකල අම්බලම් ය. සිටුවීමට සහ අම්බලමක් ඉදිකිරීමේදී, අම්බලම භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි සුදුසු ස්ථානයක එය නිර්මාණය කෙරුණි. බොහෝවිට ගමන් මාර්ගයේ වූ ළිඳක් අසල, දොලක් අසල, කුඹුරක් අසල ආදී වශයෙන් අම්බලම් ඉදිවිය. නමුත් විහාරස්‌ථාන ආශ්‍රිතව අම්බලම් ඉදිවීම ඉතා අවම වූයේ, අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන් ඉටුවූ නිසායි.
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම පිංතාලියක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි.
අම්බලම භාවිතය
- ඈත දුරබැහැර ප‍්‍රදේශවල සිට පා ගමනින් හා කරත්ත වැනි රථ ආදියෙන් සංචාරයේ යෙදුණු මගීන්, සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිතා කරන ලදී.
- ඈත අතීතයේදී මෙරට ගම් ප්‍රදේශයන්, එක් එක් ග්‍රාම ප්‍රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්‍රාම ප්‍රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්‍රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙයි.
අම්බලම ආශ්‍රිත ගොඩනැගුණු සාහිත්‍ය
සිංහල පද්‍ය සාහිත්‍ය විෂයෙහි ලා සන්දේශ කාව්‍යයන්වලදී ද අම්බලම් පිළිබඳ තොරතුරු සදහන් වේ.
සංදේශ කාව්‍ය
සංදේශ කාව්‍යයන් කිහිපයකම අම්බලම් පිළිබඳ තොරතුරු හුවා දක්වයි.
- 15 වන සියවසේ රචනා කරන ලද සැළලිහිණි සංදේශයේ, කෝට්ටේ සිට කැළණිය දක්වා වූ ගමන් මාර්ගය තුල හමුවන අම්බලමක් පිළිබඳ තොරතුරු දැක්වෙයි.
- ගිරා සංදේශයේ සඳහන් වන පරිදි වලිතොට නම් අම්බලම වෙත සේන්දු වන ජනයා විවිධ කතාන්දර, හිටිවන කවි සහ තේරවිලි ආදිය ගැලපූ බව පැවසෙයි. අම්බලම වෙත පැමිණි වැඩිහිටියෝ හිටිවන කවි මගින් එකල රජුගේ ගුණ වර්ණනා කරන ලදී.
- 18 වන සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශය තුල දකුණු පළාතේ පාලොන්නරුව ග්‍රාමයෙහි පිහිටි අම්බලමක් පිළිබඳව විස්තර කෙරේ. එම අම්බලමේ බිත්ති මත සිංහ සහ දිවියන්ගේ රූප ඇඳ තුබූ බව ඉන් සඳහන් වෙයි.
- 1813 රචනා කෙරූ දියසැවුල් සංදේශයේ උවුවෙල ග්‍රාමයේ වූ අම්බලමක් ගැන තොරතුරු හෙළි කරයි.
අම්බලමේ පිනා පිනා
වලං කඳක් ගෙනා ගෙනා
ඒක බිදපු ගොනා ගොනා
ඒකට මට හිනා හිනා
ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්
- ඇම්බැක්ක අම්බලම
- මංගලගම අම්බලම
- අප්පල්ලගොඩ අම්බලම
- කන්දේවෙල අම්බලම
- උඩුවෙල උඩගම අම්බලම
- කරගහගෙදර අම්බලම
- උඩුනුවර - හේන්දෙණිය අම්බලම
- මීපේ අම්බලම
- අැටම්පිටිය අම්බලම
- ගිරුවා අම්බලම
- රුකුලා අම්බලම
- ගොඩමුණේ අම්බලම
- මැදගම අම්බලම
- උඩුවෙල ගිණිහිරිය අම්බලම
- හඟුරන්කෙත අම්බලම
- කෙන්ගල්ල අම්බලම
- දීවිල්ල අම්බලම
- කැටවල අම්බලම
- දවුලගල අම්බලම
- ජුබිලි අම්බලම
- පුටුපාගල අම්බලම
- ගොඩමුන්න අම්බලම
- හේවා විස්ස අම්බලම
- දූල්වල වෙල මැද අම්බලම
- මාකඩවර අම්බලම
- ඇවරියවල අම්බලම
- කිරිඔරුව අම්බලම
- කඩුගන්නාව අම්බලම
- පනාවිටිය අම්බලම
- මාරස්සන අම්බලම
- ඇල්ලවත් ඔය අම්බලම
- දෙහල්කඩ අම්බලම
- බෝතලේ වෙල මැද අම්බලම
- කෝට්ටේ ගල් අම්බලම
- ගල්කොත අම්බලම
මේවාද බලන්න
මූලාශ්‍ර
- මැයි 2014 "අම්බලම නිර්මාණය". දිවයින.
{{cite news}}: Check|url=value (help)[permanent dead link] - "අම්බලම". දිවයින. 26 පෙබරවාරි 2012.
- "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
- "පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු". දිසි. 11 මාර්තු 2011. සම්ප්‍රවේශය 4 ජූනි 2014.
- "ද අම්බලම". ද අයිලන්ඩ්. 11 අප්‍රේල් 2014. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්බලම් පිළිබඳ තොරතුරු, අම්බලම් යනු කුමක්ද? අම්බලම් යනු කුමක් දර්ශනය කරන්නේ?